Tuesday, May 1, 2012


                                                 දෛවය      




     5


  හිත පුරාම ලොකු දුකක් මෝදු වෙලා. මට මේ වෙන්න යන්නෙ මොකක්ද කියල මටම හිතාගන්න බැහැ. මොනව වුනත් දැන් මගෙ හිතත් මට පාලනය කරගන්න බැරිවේගන එනව වගේ. ඒ කියන්නෙ මම මදූෂ ගැන හිතන්න අරගෙන. කොපමණ කල් ගිහින් වුනත් මොනා කෙරුවත් ගිහාන් අයියට මගේ හිතේ ගන්න බැරිවුන තැන දවස් දෙකකින් මදූෂ අරගෙන. එහෙම වුනේ කොහොමද කියල කොච්චර හිතුවත් මට තාම හිතාගන්න බෑ. ඒත් මීට වඩා මේ දේ ගැන හිතන්න මම බයයි. කොහොම වුනත් මගේ ඉරණම ලියවිලා තියෙන්නෙ වෙන විදිහකට නිසා මම මේ ගැන හිතල තවත් වැඩක් වෙන්නෙ නැහැ. 
                   
                      ඒත් සිතට ආපු සිතුවිල්ලකට ගැලපෙන ගීතයක පද පේළි දිනපොතේ අකුරු කරන්නට මම ලාච්චුව ඇර දිනපොතේ පිටුවක් පෙරළා එහි මෙසේ ලියා තැබුවෙමි.
                    
                       " දෑස වසාගමි ඔබ නොපෙනෙන්නට සිහිනෙක දැවටී ඔබ එනවා...
                         හිත හිරකරගමි ඔබට නො එන්නට සිතුවිල්ලක් වී ඔබ එනවා..."


 ****************************************************************************
  
                                         " නෝනේ.. නෝනේ.. "


                       අප්පච්චිගෙ හඬින් මා අවදි විය. හොදටම හවස් වෙලානෙ... අම්ම මට අද ඇහැරුවෙ නැත්තෙ මොකද? අම්මා කොහෙ ගිහින්ද? අප්පච්චි මෙච්චර කතා කරද්දිත් අම්මා සද්දයක් නැත්තෙ සිතමින් මා කාමරයෙන් එළියට ආවෙමි.

                                    " කෝ සුදු දෝණි අම්මා? "     මා දුටු සැනින් අප්පච්චි විමසුවේය.


                                  "දන්නෙ නැහැ අප්පච්චි..... මට නින්ද ගිහින් හිටියෙ.... දැනුයි ඇහැරුනෙ... අම්ම මාව අද ඇහැරුවෙත් නැහැ හවස් වෙනකම්ම. අම්ම කොහෙ ගිහින්ද මන්දා? "  කියමින් මා අප්පච්චිට තුරුළු විය.


"හ්ම්ම්ම්..... එහෙනම් මම දන්නව අම්ම ඉන්න තැන. යමු අපි දෙන්නම කුස්සිය පැත්තට"  කියමින් අප්පච්චි මාවත් රැගෙන කුස්සියට ඇතුළු විය.


"ආනේ!!! මහත්තය ආවද? මට ඇහුනෙවත් නැහැ. කුසුමයි මමයි මේ කෑම ටිකක් හැදුව."  අම්මා කියනවාත් සමඟ මම වටේටම ඇස් කැරකැව්වෙමි. මොනාද අද තේ වෙලාවට අම්මා හදපු කෑම එක?

"ම්ම්ම්ම්ම්...හොඳ සුවදක් නම් එනවා. අම්මෙ ඇයි මෙච්චර කෑම ගොඩක්....අද රෑට කන්න දෙන්නෙ නැද්ද අපිට?"
"ඔයාට ඉතින් මම එකින් එකට කියන්න ඕනනෙ දූ... මම ඊයෙ කිව්වෙ අද නැන්දල එනව කියල. "
                        "මට අමතක උනා අම්මා.".
"හා.. හා..දැන් ඒකෙන් කමක් නැහැ ගිහින් වෙන ඇඳුමක් දාගන්න. පිළිවෙලක් ඇති ඇඳුමක් ඇඳගෙන එන්න හොදේ...මහත්තයට තේ එකක් දැන් හදන්නද?"
"එපා නෝනෙ... මම මෙහෙමම නාගෙන එන්නම්. නංගිල ආවට  පස්සෙ තේ බොමු."
"මහත්තයගෙ කැමැත්තක්...මොකද ළමයො කරන්නෙ තාම ඔතනට වෙලා... ගිහින් ලෑස්ති වෙන්නකො එක පාරක් කිව්වම "
"අනේ අම්මා... මෙහෙම හොඳයිනෙ..මොකෝ නැන්ද මාව දැකපු  නැති කෙනෙක්ද?"
"මේ..මේ.. නැන්ද ඔයාව දැකල තිබුනට කමක් නැහැ. මම කියපු දේ කරන්න දැන්. මහත්තය...... ඔයාවත් මේ ළමයට කියන්නකො....."
"නෝනෙ..... ඒ ළමය කැමති විදිහට එයාට ඉන්න දෙන්න...... මම යනව නාගන්න."
"ඔයා තමයි මහත්තය මට මේ ළමයව හදාගන්න දෙන්නෙ නැත්තෙ." අම්මගෙ කෑ ගැසීම මැද අප්පච්චි සමඟින් මමද කුස්සියෙන් පැමිණියෙමි.


"සුදු දූ..අම්මව තරහ ගස්සන්නෙ නැතුව ඔන්න ඔය මොකක් හරි වෙන ඇඳුමක් දාගන්න. මමත් නාගෙන එන්නම්. හ්ම්..දැන් යන්න"


               අප්පච්චි සිනාසෙමින් මගෙ ඔළුව අතගා පැවසුවේය. මා හිස වනා සිනාසී කාමරය වෙත පැමිණියෙමි. එහෙත් මට සුන්දරව ලක ලෑස්ති වන්නට සිත් නොදේ. අම්ම ඊයෙ පැවසූ ලෙස අද නැන්දල මෙහි එනු ඇත්තේ මගෙත් ගිහාන් අයියගෙත් විවාහයකට පෙර සූදානමක් ලෙස බැඳීම් වැඩිකර ගැනීමටය. මින් පෙර එයට මා සිත හදාගත්තද දැන් දැන් මා එයට තදින්ම දුක් වෙමි. හරි මම කරන්නම් හොඳ වැඩක්.
                     මා දුරකථනය ගෙන මල්කිගෙ අංකය එහි සටහන් කර සවන් දුනිමි. එය බොහෝ වෙලාවක් නද දුන්නද මල්කි අමතන බවක් නොපෙනේ. මොනව කරනවද මන්ද මෙයා ෆෝන් එකට ආන්සර් කරන්නෙ නැතුව. අද නැන්දල එනකම්ම් මට කෝල් කර කර තමයි ඉන්න වෙන්නෙ. ෂික්...
  
                                   "හලෝ... මොකද.... මේ.... පාන්දරම? " මල්කි ඕනෑවට එපාවට මෙන් මගෙන් විමසීය.
                  "පාන්දර? අනේ මල්කියො උඹ තාම නිදිද? පාන්දර නෙමේ බං තාම හවස. නැඟිටපංකො මට උඹෙන් උදව්වක් ඕන."
               "හවස? අයියෝ මට එහෙම් පිටින්ම උඹ හවස එන්න කිව්ව කියල අමතක වුනා සුදූ. සොරි සුවියො...ඒක නෙමේ මොකක්ද බං උඹ අර කිව්ව උදව් කතාව? ආආආ....හරි හරි මට තේරුනා.. ඔයාට අරයට පෙම් හසුනක් මගේ අතේ යවන්න හිතුන නේද? මම එක පයින් ඔබ දෙපළගෙ දූතයා වෙන්නම්."
                  "අනේ මේ මල්කි තාම නින්දෙන්ද දොඩවන්නෙ. මට යවන්න පෙම් හසුනක් නෑ බං. දූතය නෙමේ අද මෙහෙට බූතයෙක් එනව. අනේ මල්කියො ඔයා ලඟ තියෙනවනම් මට ලොකු කරාබු දෙකක් ගෙනෙන් ලා නිල් පාට. උඹ දන්නවනෙ මම ළඟ ඔය වගේ කරාබු නැහැ කියල. අනිත් විස්තර මම ආවම කියන්නම්."
                "හෝව් .....හෝව් .....කාටද බං කරාබු දෙක? උඹ එහෙම ඒව දාන්නෙ නැහැනෙ කවදාවත්? උඹ දැන් කවද ඉදන්ද බූතයන්ට කරාබු දාන්න පටන් ගත්තෙ? මොනාද මේ කියන්නෙ මට තේරෙන්නෙ නැහැ සුවියො.."
                   "මම කිව්වනෙ ආවම විස්තරේ කියන්නම්. උඹ පැහෙන්නෙ නැතුව අරන් වරෙන් පුළුවන්නම් ඉක්මනටම."
                     "උඹ හිතුවද මගෙ කකුල් වලට රෝද හයි කරල තියෙන්නෙ කියල. මම ඇඳගෙන එන්නම්. පැය බාගයක්වත් දීපං "
                  "ඔව් ඔව් ඇඳගෙන වරෙන් නැත්නම් ඉතිං පාරෙ එන්න බැහැනෙ...හිහ්.. හිහ්...හිහ්"
                  "අනේ මේ...උඹ කිව්වෙ නැත්නම් මම අඳින්නෙ නැතුව එන්න කියල හැදුවෙ.."
                   "හරි හරි ඉක්මනට වරෙන් එහෙනම්, මම තියන්නම්, බායි"
.
                      දුරකථනය විසන්ධි කර මා ඇඳුමක් සොයන්නට අල්මාරිය ඇරියෙමි. මහත් පරිශ්‍රමයක් දරා මා සිතා සිටි අන්දමෙ ඇඳුමක් සොයා ගත්තෙමි. මල්කි පැමිණෙන විට මා හතරෙන් තුන් පන්ගුවක් මගේ සූදානම් වීමේ වැඩ අහවර කරගෙන සිටියෙමි. මා දුටු විගස මල්කි ගල් ගැසූ සේ දොර ළඟ සිටම ඇස් ලොකු කරගෙන කටට අතක් තබා ඇගේ ඇරුණු මුව වසාගෙන සිනහසෙන්නට විය.


                              " මොකද ඔයා හිනාවෙන්නෙ?"
                    "ඈ.. බං සුවී.. මොකක්ද මේ වෙන්න යන්නෙ... මට උඹව අඳුනන්නත් බැරි වුනා එකපාරටම.....උඹ පෙම්වත් වුනා විතරයි මෙච්චර ලස්සන වෙයි කියල මට හිතාගන්නවත් බැහැ."
                     "අනේ මේ මල්කි... මගෙ පෙම්වත් වීමක් නෙමේ බං . මෙතනින් වාඩිවෙයන් මම කියන්න විස්තරේ. අද ගිහාන් අයියගෙ ගෙදර අය එනව මෙහෙ. ඒ කිව්වෙ මගෙ අනාගත සහකාරය සහ එයාගෙ ෆැමිලි එක. හොඳ නැද්ද මම මෙහෙම ඇඳගෙන හිටියම? "
                      "මේ..උඹ මගෙන් මුකුත් අහගන්නෙ නැතුව ඉන්නවද? වෙලාවකට ගිහාන් අයියට උඹ කැමති නැහැ. තව වෙලාවකට එයාට කැමති වෙනව. මොකක්ද බං මේකෙ තේරුම? "
                             "පොඩ්ඩක් ඉන්න උඩ පනින්නෙ නැතුව... මම උඹට විස්තරේ කියන්නම්...."
                        "කියපන්කො බලන්න උඹේ විස්තරේ මම අහගෙන ඉන්න"
                       "නැන්ද කැමති නැහැ බං සංකර විදිහට අදිනවට. මම එහෙම අඳින්නෙ නැති එකත් නැන්දලගෙ කැමැත්තට හේතුවක්. ඒකයි  මම මෙහෙම අඳින්න හිතුවෙ."
             "ඔයා ඔහොම හිතුවට මටනම් හිතෙන්නෙ ඕකෙ අනිත් පැත්ත. එපා වෙනව වෙනුවට තවත් කැමැත්ත වැඩි වෙයිද දන්නෙ නැහැ."
              "නැහැ...... අනිවාර්යෙන්ම මේ වැඩෙන් නැන්දට මාව එපා වෙනව. එතකොට ගිහාන් අයිය කොච්චර උඩ පැන්නත් වැඩක් වෙන්නෙ නැහැ."
                                "සුදු දෝණි..... මෙන්න නැන්දල ආවා....." 


                         අම්මගෙ කටහඬ පහත මාළයෙන් ඇසෙන්නට විය. මල්කිද කැටුව මා පහළට ගියෙමි. මා දුටු විගස සියල්ලන්ම පුදුමව මා දෙස බලා සිටින්නට විය. අම්මාගෙ මුහුණ දෙස මා නොබලා සිටින්නට උත්සාහ ගත්තාය. අප්පච්චි මුවට සිනහවක් නඟාගෙන මා දෙස බැලුවේය. නැන්දා සහ මාමා මා දෙස බලා මුහුණට මුහුණ බලාගත් අයුරින් මගේ උත්සහය සාර්ථක වූ බවක් පෙනුණි. ප්‍රසාදි නංගි නම් නිහඬව සිනාසෙන්නට විය. ගිහාන් අයියා දෙස මා බැලුවෙ නැත.

                        "මොකද මේ .............හැමෝම පුදුම වෙලා වගේ මගෙ දිහා බලන් ඉන්නෙ. ?"
                      "මොකද කියල අහන්නෙ දරුවො?...... ඔයා කවදාවත් ඔහොම ඇඳුම් ඇඳපු ළමයෙක් නෙමේනෙ..... ඉතිං අපිට පුදුමයි තමයි........ අනේ මන්ද අද කාලෙ ළමයින්ගෙ හැටි."  නැන්දා පවසද්දි
                        "අපි තේ ටිකක් බීල ඉමු නංගියෙ"


                           අම්මා මාතෘකාව වෙනස් කරන්නට මෙන් පැවසුවාය. තේ බීමෙන් පසු මල්කි එළියට ගිය හෙයින් මාද එළියට පැමිණියේ නිවස තුල පවත්වන කථා බහට මා අකමැති වූ හෙයිනි. ප්‍රසාදි නංගිද මා සමඟින් එළියට ආවාය.


                       "ඔයා අද හරි.....ම ලස්සනයි අක්කියො. අපේ අම්මලගෙ ඉතිං හණමිටි අදහස්නෙ. ඔයා ඕව ගණන් ගන්න එපා. "     පැවසූ ඇය මල්කි සමඟින් පේර ගස වෙත ගියාය. මගේ සිත මහා දුකකින් පිරෙද්දි එක්වරම මට මදූෂ සිහි විය. මුවට නොදැනිම සිනාවක් පැමිණියාය. එක්වරම මගෙ දෙනෙත් ගොරෝසු දෙ අතකින් වැසී ගියාය.
                    "කව්ද? .......අත අරින්න මගෙ ඇස් දෙක... "
                  "අත  අරින්න...? අත අරින්න නෙමේ.... මම ළඟදිම අල්ලගන්න බලං ඉන්නෙ. ඇත්තමයි දැන්නම් ..........මට මේ දැන් ඔයාව අරන් යන්න හිතෙනව බැඳලා. ඔයා අද හරි ලස්සනයි කෙල්ලෙ. මෙච්චර කල් ඔය ලස්සන කොහෙද හංගගෙන හිටියෙ?. මම කිස් එකක් දෙන්නද? කෝ මෙහෙට හැරෙන්නකො."


                      ගිහාන් අයියා කියවගෙන යන්නට විය. මා ඉක්මනින් ඔහුගෙ අත ගසා දමා මල්කි සහ ප්‍රසාදි නංගි හුන් තැනට පැමිණියෙමි. ගිහාන් අයියා මා දෙස බලා ඇසක් ඉඟි මැරුවේය. ඉන්පසු ඔහු අප සිටිනා තැනට පැමිණියහ.
                       
                         "සුවී මට පොඩ්ඩක් කතා කරන්න ඕන. මෙහෙ එනවා... "   මගේ අතින් ඇඳගෙන ඔහු ගෙවත්තේ ඇති ඔන්චිල්ලාව වෙත ගමන් කරන්නට විය.
                          "අනේ ගිහාන් අයියෙ මම එන්නම්.. මගෙ අත අතාරින්නකො...රිදෙනවා..."     මා පැවසුවද ඔහු එය ගනනකටවත් ගත් බවක් නොපෙනුණි. මා ගෙවත්තේ ඇති පුටුවක ඉන්දවූ ඔහු එහි ඇඳි දෙකට ඔහුගේ දෙ අත් තබා මා වෙත නැඹුරු විය.


                        "මෙන්න මේක...... තමුසෙ හොඳට අහගන්නවා සුවී... කවදහරි තමුසෙව බඳින්නෙ මම.ඒ නිසා .........මට ඔය ගෑස් පෙන්නන්න එන්න එපා. හැමදාම මෙහෙම වෙන්න බැහැ හරිද? මම දැන් ඉවසුව හොදටම ඇති. කමක් නැහැ මම තවත් ඉවසන්නම්.... මොකද කවදහරි තමුසෙව බැන්ඳම දැන් ඔය දෙන්නෙ නැති දේවල් එදාට මම තමුසෙගෙන් ගන්න නිසා...පරිස්සම් කරල තියාගන්නව.... අයි ලයික් ඉට්....."     යනුවෙන් පවසා මගේ මුහුණ මිරිකූ ඔහු සමච්චල් සහගත හිනාවකින් මුව සරසාගෙන මවෙතින් නික්ම ගියේය. 


                    සිතට මහා දුකක් දැනෙද්දි මා හිස් අහසට දෙනෙත් යොමු කර කල්පනා කළෙමි. මට මගේ ඉරණම වෙනස් කරන්න බැරි වෙයිද? මම ජීවත් වෙන්න ඕන මේ වගේ අමනුස්සයෙක් එක්කද? ගිහාන් අයිය මගේ ජීවිතේට මෙහෙම කරන්නෙ ඇයි? අපේ අම්මලත් මේව ගැන හිතන්නෙ නැති හැටි. 


                                                                               මතු සම්බන්ධයි

No comments:

Post a Comment