Wednesday, March 27, 2013

මා තව නොදනී


මා සිතට එබී මගෙ ළඟින් හිඳී
හැමදාමත් අයියණ්ඩී
ඔය දෙනෙත් ළඟයි මා සසල වුණේ
ඇයිදැයි මා තව නොදනී

ජීවිතය අරං මා දෝත පුරා
ඔබ සමඟින් එමි හිනැහී
මේ සසර පුරා ඔබ නමින් සදා
කැපවෙන්නෙමි කුමරුවනී

නුඹෙ හැඟුම් දැනී මා සිත පිබිඳී
පෙම්වත් වෙයි ඔබ හමුවේ
මුළු ලොවම හැරා ඔබ වෙතට එමී
ඔබෙ සිත් අහසට සඳ වී

<<<<එරන්දි කුමුදුනී හේවාතන්ත්‍රී>>>>

Friday, June 29, 2012

ඇස් ආදරෙන් පුරෝනා......

ඇස් ආදරෙන් පුරෝනා
හිත පාලුවෙන් ගලෝනා
ඔබ මගෙම වෙන්න ඕනා
මියැදෙන්න දෙන්න උනුහුමේ ඔබේ
මා හදවතින්ම උමතු වී තියේ

ඔබ සිහිවන හැම මොහොතක් ගානේ
දැකගන්නට ඔබ මා ළඟ නෑනේ
නුදුරේදිම කරගන්නට මාගේ
අවසර දෙන්නට පමණයි ඕනේ

ඉඩ දෙන්නම් පපුතුරේ
නැලවෙනු මැන සොඳුරියේ
මට ඔබම තමඉ ඕනා

ඇස් ආදරෙන් පුරෝනා...

රැකගන්නම් ජීවිතයම වාගේ
එකසැරයක් හදගත්තානම් මගේ
සැනසෙන්නට හමදාමත් ආයේ
එනවද හිමිකම ගන්නට මගෙ හීනේ
නොසිඳෙන මහ සාගරේ
තරමට මගේ ආදරේ
මට ඔබම තමඉ ඕනා
                            

Thursday, May 3, 2012

වෙසක් පැතුම



සැමගේ සිත් සතන් පිනටම යොමුවේවා
පස්පව් වලින් මිදී මිනිසුන් තුටුවේවා
පිංබර වූ දිනේ පිං සිතුවිළි පැතිරේවා
වෙසක් සිරියෙන් තුන් ලෝකෙම බැබළේවා
!
!!!
!!!!!!!
!!!!!!!!!!!!!!
!!!!!!!!!!!!!!!!!!!!
!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

Tuesday, May 1, 2012


                                                 දෛවය      




     5


  හිත පුරාම ලොකු දුකක් මෝදු වෙලා. මට මේ වෙන්න යන්නෙ මොකක්ද කියල මටම හිතාගන්න බැහැ. මොනව වුනත් දැන් මගෙ හිතත් මට පාලනය කරගන්න බැරිවේගන එනව වගේ. ඒ කියන්නෙ මම මදූෂ ගැන හිතන්න අරගෙන. කොපමණ කල් ගිහින් වුනත් මොනා කෙරුවත් ගිහාන් අයියට මගේ හිතේ ගන්න බැරිවුන තැන දවස් දෙකකින් මදූෂ අරගෙන. එහෙම වුනේ කොහොමද කියල කොච්චර හිතුවත් මට තාම හිතාගන්න බෑ. ඒත් මීට වඩා මේ දේ ගැන හිතන්න මම බයයි. කොහොම වුනත් මගේ ඉරණම ලියවිලා තියෙන්නෙ වෙන විදිහකට නිසා මම මේ ගැන හිතල තවත් වැඩක් වෙන්නෙ නැහැ. 
                   
                      ඒත් සිතට ආපු සිතුවිල්ලකට ගැලපෙන ගීතයක පද පේළි දිනපොතේ අකුරු කරන්නට මම ලාච්චුව ඇර දිනපොතේ පිටුවක් පෙරළා එහි මෙසේ ලියා තැබුවෙමි.
                    
                       " දෑස වසාගමි ඔබ නොපෙනෙන්නට සිහිනෙක දැවටී ඔබ එනවා...
                         හිත හිරකරගමි ඔබට නො එන්නට සිතුවිල්ලක් වී ඔබ එනවා..."


 ****************************************************************************
  
                                         " නෝනේ.. නෝනේ.. "


                       අප්පච්චිගෙ හඬින් මා අවදි විය. හොදටම හවස් වෙලානෙ... අම්ම මට අද ඇහැරුවෙ නැත්තෙ මොකද? අම්මා කොහෙ ගිහින්ද? අප්පච්චි මෙච්චර කතා කරද්දිත් අම්මා සද්දයක් නැත්තෙ සිතමින් මා කාමරයෙන් එළියට ආවෙමි.

                                    " කෝ සුදු දෝණි අම්මා? "     මා දුටු සැනින් අප්පච්චි විමසුවේය.


                                  "දන්නෙ නැහැ අප්පච්චි..... මට නින්ද ගිහින් හිටියෙ.... දැනුයි ඇහැරුනෙ... අම්ම මාව අද ඇහැරුවෙත් නැහැ හවස් වෙනකම්ම. අම්ම කොහෙ ගිහින්ද මන්දා? "  කියමින් මා අප්පච්චිට තුරුළු විය.


"හ්ම්ම්ම්..... එහෙනම් මම දන්නව අම්ම ඉන්න තැන. යමු අපි දෙන්නම කුස්සිය පැත්තට"  කියමින් අප්පච්චි මාවත් රැගෙන කුස්සියට ඇතුළු විය.


"ආනේ!!! මහත්තය ආවද? මට ඇහුනෙවත් නැහැ. කුසුමයි මමයි මේ කෑම ටිකක් හැදුව."  අම්මා කියනවාත් සමඟ මම වටේටම ඇස් කැරකැව්වෙමි. මොනාද අද තේ වෙලාවට අම්මා හදපු කෑම එක?

"ම්ම්ම්ම්ම්...හොඳ සුවදක් නම් එනවා. අම්මෙ ඇයි මෙච්චර කෑම ගොඩක්....අද රෑට කන්න දෙන්නෙ නැද්ද අපිට?"
"ඔයාට ඉතින් මම එකින් එකට කියන්න ඕනනෙ දූ... මම ඊයෙ කිව්වෙ අද නැන්දල එනව කියල. "
                        "මට අමතක උනා අම්මා.".
"හා.. හා..දැන් ඒකෙන් කමක් නැහැ ගිහින් වෙන ඇඳුමක් දාගන්න. පිළිවෙලක් ඇති ඇඳුමක් ඇඳගෙන එන්න හොදේ...මහත්තයට තේ එකක් දැන් හදන්නද?"
"එපා නෝනෙ... මම මෙහෙමම නාගෙන එන්නම්. නංගිල ආවට  පස්සෙ තේ බොමු."
"මහත්තයගෙ කැමැත්තක්...මොකද ළමයො කරන්නෙ තාම ඔතනට වෙලා... ගිහින් ලෑස්ති වෙන්නකො එක පාරක් කිව්වම "
"අනේ අම්මා... මෙහෙම හොඳයිනෙ..මොකෝ නැන්ද මාව දැකපු  නැති කෙනෙක්ද?"
"මේ..මේ.. නැන්ද ඔයාව දැකල තිබුනට කමක් නැහැ. මම කියපු දේ කරන්න දැන්. මහත්තය...... ඔයාවත් මේ ළමයට කියන්නකො....."
"නෝනෙ..... ඒ ළමය කැමති විදිහට එයාට ඉන්න දෙන්න...... මම යනව නාගන්න."
"ඔයා තමයි මහත්තය මට මේ ළමයව හදාගන්න දෙන්නෙ නැත්තෙ." අම්මගෙ කෑ ගැසීම මැද අප්පච්චි සමඟින් මමද කුස්සියෙන් පැමිණියෙමි.


"සුදු දූ..අම්මව තරහ ගස්සන්නෙ නැතුව ඔන්න ඔය මොකක් හරි වෙන ඇඳුමක් දාගන්න. මමත් නාගෙන එන්නම්. හ්ම්..දැන් යන්න"


               අප්පච්චි සිනාසෙමින් මගෙ ඔළුව අතගා පැවසුවේය. මා හිස වනා සිනාසී කාමරය වෙත පැමිණියෙමි. එහෙත් මට සුන්දරව ලක ලෑස්ති වන්නට සිත් නොදේ. අම්ම ඊයෙ පැවසූ ලෙස අද නැන්දල මෙහි එනු ඇත්තේ මගෙත් ගිහාන් අයියගෙත් විවාහයකට පෙර සූදානමක් ලෙස බැඳීම් වැඩිකර ගැනීමටය. මින් පෙර එයට මා සිත හදාගත්තද දැන් දැන් මා එයට තදින්ම දුක් වෙමි. හරි මම කරන්නම් හොඳ වැඩක්.
                     මා දුරකථනය ගෙන මල්කිගෙ අංකය එහි සටහන් කර සවන් දුනිමි. එය බොහෝ වෙලාවක් නද දුන්නද මල්කි අමතන බවක් නොපෙනේ. මොනව කරනවද මන්ද මෙයා ෆෝන් එකට ආන්සර් කරන්නෙ නැතුව. අද නැන්දල එනකම්ම් මට කෝල් කර කර තමයි ඉන්න වෙන්නෙ. ෂික්...
  
                                   "හලෝ... මොකද.... මේ.... පාන්දරම? " මල්කි ඕනෑවට එපාවට මෙන් මගෙන් විමසීය.
                  "පාන්දර? අනේ මල්කියො උඹ තාම නිදිද? පාන්දර නෙමේ බං තාම හවස. නැඟිටපංකො මට උඹෙන් උදව්වක් ඕන."
               "හවස? අයියෝ මට එහෙම් පිටින්ම උඹ හවස එන්න කිව්ව කියල අමතක වුනා සුදූ. සොරි සුවියො...ඒක නෙමේ මොකක්ද බං උඹ අර කිව්ව උදව් කතාව? ආආආ....හරි හරි මට තේරුනා.. ඔයාට අරයට පෙම් හසුනක් මගේ අතේ යවන්න හිතුන නේද? මම එක පයින් ඔබ දෙපළගෙ දූතයා වෙන්නම්."
                  "අනේ මේ මල්කි තාම නින්දෙන්ද දොඩවන්නෙ. මට යවන්න පෙම් හසුනක් නෑ බං. දූතය නෙමේ අද මෙහෙට බූතයෙක් එනව. අනේ මල්කියො ඔයා ලඟ තියෙනවනම් මට ලොකු කරාබු දෙකක් ගෙනෙන් ලා නිල් පාට. උඹ දන්නවනෙ මම ළඟ ඔය වගේ කරාබු නැහැ කියල. අනිත් විස්තර මම ආවම කියන්නම්."
                "හෝව් .....හෝව් .....කාටද බං කරාබු දෙක? උඹ එහෙම ඒව දාන්නෙ නැහැනෙ කවදාවත්? උඹ දැන් කවද ඉදන්ද බූතයන්ට කරාබු දාන්න පටන් ගත්තෙ? මොනාද මේ කියන්නෙ මට තේරෙන්නෙ නැහැ සුවියො.."
                   "මම කිව්වනෙ ආවම විස්තරේ කියන්නම්. උඹ පැහෙන්නෙ නැතුව අරන් වරෙන් පුළුවන්නම් ඉක්මනටම."
                     "උඹ හිතුවද මගෙ කකුල් වලට රෝද හයි කරල තියෙන්නෙ කියල. මම ඇඳගෙන එන්නම්. පැය බාගයක්වත් දීපං "
                  "ඔව් ඔව් ඇඳගෙන වරෙන් නැත්නම් ඉතිං පාරෙ එන්න බැහැනෙ...හිහ්.. හිහ්...හිහ්"
                  "අනේ මේ...උඹ කිව්වෙ නැත්නම් මම අඳින්නෙ නැතුව එන්න කියල හැදුවෙ.."
                   "හරි හරි ඉක්මනට වරෙන් එහෙනම්, මම තියන්නම්, බායි"
.
                      දුරකථනය විසන්ධි කර මා ඇඳුමක් සොයන්නට අල්මාරිය ඇරියෙමි. මහත් පරිශ්‍රමයක් දරා මා සිතා සිටි අන්දමෙ ඇඳුමක් සොයා ගත්තෙමි. මල්කි පැමිණෙන විට මා හතරෙන් තුන් පන්ගුවක් මගේ සූදානම් වීමේ වැඩ අහවර කරගෙන සිටියෙමි. මා දුටු විගස මල්කි ගල් ගැසූ සේ දොර ළඟ සිටම ඇස් ලොකු කරගෙන කටට අතක් තබා ඇගේ ඇරුණු මුව වසාගෙන සිනහසෙන්නට විය.


                              " මොකද ඔයා හිනාවෙන්නෙ?"
                    "ඈ.. බං සුවී.. මොකක්ද මේ වෙන්න යන්නෙ... මට උඹව අඳුනන්නත් බැරි වුනා එකපාරටම.....උඹ පෙම්වත් වුනා විතරයි මෙච්චර ලස්සන වෙයි කියල මට හිතාගන්නවත් බැහැ."
                     "අනේ මේ මල්කි... මගෙ පෙම්වත් වීමක් නෙමේ බං . මෙතනින් වාඩිවෙයන් මම කියන්න විස්තරේ. අද ගිහාන් අයියගෙ ගෙදර අය එනව මෙහෙ. ඒ කිව්වෙ මගෙ අනාගත සහකාරය සහ එයාගෙ ෆැමිලි එක. හොඳ නැද්ද මම මෙහෙම ඇඳගෙන හිටියම? "
                      "මේ..උඹ මගෙන් මුකුත් අහගන්නෙ නැතුව ඉන්නවද? වෙලාවකට ගිහාන් අයියට උඹ කැමති නැහැ. තව වෙලාවකට එයාට කැමති වෙනව. මොකක්ද බං මේකෙ තේරුම? "
                             "පොඩ්ඩක් ඉන්න උඩ පනින්නෙ නැතුව... මම උඹට විස්තරේ කියන්නම්...."
                        "කියපන්කො බලන්න උඹේ විස්තරේ මම අහගෙන ඉන්න"
                       "නැන්ද කැමති නැහැ බං සංකර විදිහට අදිනවට. මම එහෙම අඳින්නෙ නැති එකත් නැන්දලගෙ කැමැත්තට හේතුවක්. ඒකයි  මම මෙහෙම අඳින්න හිතුවෙ."
             "ඔයා ඔහොම හිතුවට මටනම් හිතෙන්නෙ ඕකෙ අනිත් පැත්ත. එපා වෙනව වෙනුවට තවත් කැමැත්ත වැඩි වෙයිද දන්නෙ නැහැ."
              "නැහැ...... අනිවාර්යෙන්ම මේ වැඩෙන් නැන්දට මාව එපා වෙනව. එතකොට ගිහාන් අයිය කොච්චර උඩ පැන්නත් වැඩක් වෙන්නෙ නැහැ."
                                "සුදු දෝණි..... මෙන්න නැන්දල ආවා....." 


                         අම්මගෙ කටහඬ පහත මාළයෙන් ඇසෙන්නට විය. මල්කිද කැටුව මා පහළට ගියෙමි. මා දුටු විගස සියල්ලන්ම පුදුමව මා දෙස බලා සිටින්නට විය. අම්මාගෙ මුහුණ දෙස මා නොබලා සිටින්නට උත්සාහ ගත්තාය. අප්පච්චි මුවට සිනහවක් නඟාගෙන මා දෙස බැලුවේය. නැන්දා සහ මාමා මා දෙස බලා මුහුණට මුහුණ බලාගත් අයුරින් මගේ උත්සහය සාර්ථක වූ බවක් පෙනුණි. ප්‍රසාදි නංගි නම් නිහඬව සිනාසෙන්නට විය. ගිහාන් අයියා දෙස මා බැලුවෙ නැත.

                        "මොකද මේ .............හැමෝම පුදුම වෙලා වගේ මගෙ දිහා බලන් ඉන්නෙ. ?"
                      "මොකද කියල අහන්නෙ දරුවො?...... ඔයා කවදාවත් ඔහොම ඇඳුම් ඇඳපු ළමයෙක් නෙමේනෙ..... ඉතිං අපිට පුදුමයි තමයි........ අනේ මන්ද අද කාලෙ ළමයින්ගෙ හැටි."  නැන්දා පවසද්දි
                        "අපි තේ ටිකක් බීල ඉමු නංගියෙ"


                           අම්මා මාතෘකාව වෙනස් කරන්නට මෙන් පැවසුවාය. තේ බීමෙන් පසු මල්කි එළියට ගිය හෙයින් මාද එළියට පැමිණියේ නිවස තුල පවත්වන කථා බහට මා අකමැති වූ හෙයිනි. ප්‍රසාදි නංගිද මා සමඟින් එළියට ආවාය.


                       "ඔයා අද හරි.....ම ලස්සනයි අක්කියො. අපේ අම්මලගෙ ඉතිං හණමිටි අදහස්නෙ. ඔයා ඕව ගණන් ගන්න එපා. "     පැවසූ ඇය මල්කි සමඟින් පේර ගස වෙත ගියාය. මගේ සිත මහා දුකකින් පිරෙද්දි එක්වරම මට මදූෂ සිහි විය. මුවට නොදැනිම සිනාවක් පැමිණියාය. එක්වරම මගෙ දෙනෙත් ගොරෝසු දෙ අතකින් වැසී ගියාය.
                    "කව්ද? .......අත අරින්න මගෙ ඇස් දෙක... "
                  "අත  අරින්න...? අත අරින්න නෙමේ.... මම ළඟදිම අල්ලගන්න බලං ඉන්නෙ. ඇත්තමයි දැන්නම් ..........මට මේ දැන් ඔයාව අරන් යන්න හිතෙනව බැඳලා. ඔයා අද හරි ලස්සනයි කෙල්ලෙ. මෙච්චර කල් ඔය ලස්සන කොහෙද හංගගෙන හිටියෙ?. මම කිස් එකක් දෙන්නද? කෝ මෙහෙට හැරෙන්නකො."


                      ගිහාන් අයියා කියවගෙන යන්නට විය. මා ඉක්මනින් ඔහුගෙ අත ගසා දමා මල්කි සහ ප්‍රසාදි නංගි හුන් තැනට පැමිණියෙමි. ගිහාන් අයියා මා දෙස බලා ඇසක් ඉඟි මැරුවේය. ඉන්පසු ඔහු අප සිටිනා තැනට පැමිණියහ.
                       
                         "සුවී මට පොඩ්ඩක් කතා කරන්න ඕන. මෙහෙ එනවා... "   මගේ අතින් ඇඳගෙන ඔහු ගෙවත්තේ ඇති ඔන්චිල්ලාව වෙත ගමන් කරන්නට විය.
                          "අනේ ගිහාන් අයියෙ මම එන්නම්.. මගෙ අත අතාරින්නකො...රිදෙනවා..."     මා පැවසුවද ඔහු එය ගනනකටවත් ගත් බවක් නොපෙනුණි. මා ගෙවත්තේ ඇති පුටුවක ඉන්දවූ ඔහු එහි ඇඳි දෙකට ඔහුගේ දෙ අත් තබා මා වෙත නැඹුරු විය.


                        "මෙන්න මේක...... තමුසෙ හොඳට අහගන්නවා සුවී... කවදහරි තමුසෙව බඳින්නෙ මම.ඒ නිසා .........මට ඔය ගෑස් පෙන්නන්න එන්න එපා. හැමදාම මෙහෙම වෙන්න බැහැ හරිද? මම දැන් ඉවසුව හොදටම ඇති. කමක් නැහැ මම තවත් ඉවසන්නම්.... මොකද කවදහරි තමුසෙව බැන්ඳම දැන් ඔය දෙන්නෙ නැති දේවල් එදාට මම තමුසෙගෙන් ගන්න නිසා...පරිස්සම් කරල තියාගන්නව.... අයි ලයික් ඉට්....."     යනුවෙන් පවසා මගේ මුහුණ මිරිකූ ඔහු සමච්චල් සහගත හිනාවකින් මුව සරසාගෙන මවෙතින් නික්ම ගියේය. 


                    සිතට මහා දුකක් දැනෙද්දි මා හිස් අහසට දෙනෙත් යොමු කර කල්පනා කළෙමි. මට මගේ ඉරණම වෙනස් කරන්න බැරි වෙයිද? මම ජීවත් වෙන්න ඕන මේ වගේ අමනුස්සයෙක් එක්කද? ගිහාන් අයිය මගේ ජීවිතේට මෙහෙම කරන්නෙ ඇයි? අපේ අම්මලත් මේව ගැන හිතන්නෙ නැති හැටි. 


                                                                               මතු සම්බන්ධයි

Friday, April 6, 2012


දෛවය

4
කෑම මේසෙට ඉඳගත්තද කන්නට පිරියක් නැත. ඒත් අම්මා ඉන්න නිසා අමාරුවෙන් හෝ බත් කටවල් දෙක තුනක් ඉක්මනට ගිල දැමුවෙමි. 
     
                                                        "ඔය කාලත් ඉවරද?"
                                       "ඇති අම්මා...අද බඩගිනි නැහැ එච්චර"
                                      "එහෙනම් අලිගැටපේර එකවත් කන්න"
                        "ආ.... ඒකනම් මම නොකා ඉන්නෙ නැහැ... මම මේක අරන් කාමරේට යනව අම්මා...මට ඉස්කෝලෙ වැඩ වගයකුත් තියෙනව කරන්න..."
   
  මා කවදත් ආසම කරන අලිගැටපේර බඳුනත් රැගෙන කාමරයට ආවෙමි. සුපුරුදු පරිදි ඇඳ ළඟ තිබෙන ගුවන් විදුලි යන්ත්‍රය ක්‍රියාත්මක කරවා ඇඳේ හාන්සි වී ලාච්චුව ඇර දිනපොත එලියට ගෙන දිගඇරියෙමි. නිකමට මෙන් මට එහි මෙසේ ලියා තබන්නට සිතුණි. මම එය ලියුවෙමි.
       "නුපුරුදු ඔබ දුටු පළමු දිනේ ....සුපුරුදු ලෙස දැනුණා...
***********************************************************************************
  පසුදින පාසැල නිමා වී මල්කි සමඟ බස් නැවතුම්පොළ වෙත එන්නට මා සිතා මතාම ප්‍රමාද වුණෙමි. 
  
  "මොකද සුවී මේ ඉක්මන් කරල යමං..නැත්නම් යන්න වෙන්නෙ ඊළඟ බස් එකේ තමයි..."
    " කමක් නැහැ අපි ඊළඟ එකේ යමු.....මට ඉක්මනට එන්න අමාරුයි...."
    "අනේ..... මේ.... උඹ කව්ද කියල මම දන්නව හොඳේ...කාවද ඔයා ඔය රවට්ටගන්න හදන්නෙ? ඔයා මොනව කරත් ඔයාගෙ හිතින් ඔයාට පැනල යන්න බැහැ හොඳේ...." 
    "උඹට පිස්සුද?... විකාර කියවන්නෙ නැතුව යමං..."
    "ඔව්..ඔව් මට තමයි විකාර..."
  
  කතාවෙන් කතාවෙන් බස් නැවතුම්පල වෙත එනවිට පළමු බසය නික්මෙන්නට සූදානම් වී තිබුණි.

   "සුචී... නඟිමුද මේකට?..."
    "පිස්සුද මල්කි? ... ඕකෙ එල්ලෙන්න ගියොත් යන්න වෙන්නෙ ගෙදර නෙමේ...ඉස්පිරිතාලෙට... ඊ ළඟ එකේ නිදහසේ ඉඳගෙන යමු අද.. අර පිස්සො ටික අර බස් එකේ යන්න ඇතිනේ..."
    "ආ..ආ..ආ....ඒකයි මෙයා මේ ගාටල තියෙන්නෙ එහෙනම්.... පව් බං... මොනව වුනත් මනූෂ අද උඹ එනකම් බලාගෙන ඉන්න ඇති ඇස් දෙක රිදෙනකම්..."
    "අනේ මේ... එයා මොකටද එහෙම බලන් ඉන්නෙ... එයා මගෙ කව්ද?.."
    "එයා උඹෙ කව්ද කියල උඹ මගෙන් අහන්නෙපා.... පස්සෙ දවසක මම ඔය ප්‍රශ්ණෙ උඹෙන් අහන්නම්....එදාට එයා අනිවාර්යෙන්ම උඹේ කවුරුමහරි වෙලා ඉන්නව...මම දැන් කිව්ව කියල මතක තියාගනින් සුචී..."
   
  ඇත්තටම ඒක එහෙම වෙයිද? නෑ නෑ මම මොනවද මේ හිතන්නෙ.. ගිහාන් අයියව එක්වරම මට මැවිල පේන්නට විය. එහෙම එකේ මම මල්කි කිව්ව දේ ගැන හිතල වැඩක් නැහැ කොහොමවත් 
  
  "සුචී... අන්න ඊ ළඟ බස් එක එනවා...නැවැත්තුව ගමන් මම නැඟල ෂීට් එකක් අල්ලගන්නම්... ඔයා එක්ක නඟින්න ගියොත් හිටගෙන තමයි යන්න වෙන්නෙ... ඔයා පස්සෙ හිමීට එන්න..."
    
 බස් රථය නැවැත්තුව වහාම මල්කි ඉක්මනට එයට නැඟගත්තාය. එච්චරම සෙනඟ ගොඩක් නැහැ මේකෙ යන්නනම් යැයි සිතමින් මාද බසයට ගොඩ වී මල්කි වාඩි වී සිටිනා තැනින් ඉඳගත්තෙමි. 
   
 "උඹ වරෙන් අයිනට... නැත්නම් අදත් වලියක් දා ගනියිද දන්නෙ නැහැනෙ මොනවටවත්"
  
  එයට මල්කිට සෙමින් පාරක් එල්ල කළ මා කව්ළුව සමීපයෙන් හිඳගත්තෙමි. ටික ටික බසයට සෙනඟ පිරෙන්නට විය. මොහොතකින් දුටු දෙයින් හදවත නතර වූ වැනි හැඟීමක් ඇති විය. නොදැනුවත්ම මා මල්කිගෙ අත මිරිකුවෙමි.
  
  "මොකද යකෝ ඒ පාර උඹ මගෙ අත කන්න හදන්නෙ?"
    "මල්කි... අරය නැඟ්ඟ බස් එකට.. අපිව දැක්ක බං"
    "කව්ද... උඹේ ඔය අරය?"
  
  තවත් කිසිවක් කීමට ඉඩක් නොමැති විය. අප අසලට ඔවුන් පැමුණ තිබුණි.
  
  "හලෝ... මල්කි... කොහොමද?"
    "ආ.... මම මේ බැලුව හොඳට හිටපු මගෙ යාළුවට එකපාරටම මොකද වුනේ කියල... එහෙනම් මේකයි මේ..."
  
  මම බිම බලාගත්වනම මල්කිගෙ කකුල තදින් පෑගුවෙමි. මේකිනම් මාව නැති කරනව. මොනව කියවනවද මන්දා. මල්කි ගානක්වත් නැති සේ සිනාසී නැවත ඔවුන් සමඟ කතාවය.
  
 "මනූෂ... ඔයාල ඇයි අද පරක්කුවෙලා... කලින් ගිය බස් එකේ යන්න වුනේ නැද්ද?"

  මගේ සිතේ තිබූ පැනය මල්කිගෙ කටින් පිට විය. එයට පිළිතුරු දුන්නෙ ඔහුගෙ මිතුරාය.
  
  "යස අගේට යන්න තිබුණා මල්කි.... කොහේද.. මේ අපේ මනූෂයා බෑ කිව්වනෙ යන්න...."
    "ඒ මොකද ඒ?"
    "මොකද කියනවනම් මල්කි.... මනූෂයගෙ හිත කව්ද ගෑණු දැරිවියක් අරගෙන ගිහින්...ඒ ළමයව බලන්නම ඕනලුනෙ...අනික අරන් ගිය හිත ඉල්ලගන්නත් ඕනනෙ.. නැත්නම් මූ ඊයෙ ඉදන් පිස්සු නටනව හිත නැතුව."

   ඔහුගෙ කතාවට මල්කිනම් සිනාසෙයි. ඒත් මගෙ හිතට එක්වරම අකුණක් වැදුනා මෙන් විය.
  
  "ඒ කියන්නෙ මනූෂට ගර්ල් කෙනෙක් ඉන්නවද?"
    "ඉන්නව කියන්නෙ"
  
 නොදැනුවත්වම මගෙ මුවින් සුසුමක් පිටවිය. බලාපොරොත්තුවක් බිඳී ගියා සේ දැනෙන්නට වූයේ ඇයිදැයි මටම සිතා ගන්නට නොහැකි විය.
   
  "පැතුම්ට පිස්සු මල්කි"
     "ඇයි මනූෂ ...පැතුම් කිව්වෙ බොරුවක්ද?"
     "මෙහෙමයි මගෙ හිතනම් අරගෙන ගියා කෙනෙක්...ඒත් එයා මට කැමතිද කියල මම තාම දන්නෙ නැහැ.. අද ඒක දැනගන්න පුළුවන් වුනොත් ලොකු දෙයක් මල්කි...."
   
  මේ මොනාද මේ වෙන්නෙ මෙයාලට කතා කරන්න වෙන දෙයක් නැද්ද ඇත්තටම එයාල ඒ ගැන කතා කරද්දි ඇයි මට මේ තරම් දුකක් හිතට දැනෙන්නෙ. එක අතකට මට මොකෝ මනූෂ මගෙ කවුරුත් නෙමෙයිනෙ. එයාට එක කෙල්ලෙක් බැරිනම් කීයක් හිටියත් මට මොකද? එසේ සිතූවත් කියාගත නොහැකි දුකකින් මා තැවුනෙමි.
  
   "මල්කි.. පොඩ්ඩක් ඔතනින් වාඩිවෙන්න දෙනවද අපේ මේ මනූෂයට උගෙ කකුලක් ඇවිලිලා එක පාරටම..."
   පැතුම් කියද්දි මට එක්වරම මල්කි දෙස බැලිණි.
     "අපෝ... ඕක මොකක්ද පැතුම්... කෝ එන්න මනූෂ..ඉඳගන්න.." 
   
 මනූෂ ඉඳගත් සැනින් මා නැගිට්ටෙමි. එක්වරම මනූෂ මගේ අතින් අල්ලා මා නැවත අසුන මත ඉන්දවීය. නොසිතූ මොහොතක සිදුවූ දෙයින් මා බිරාන්ත වුණෙමි.
   
 "ප්ලීස්... නැගිටල යන්න නම් එපා... මම ඉන්නවට මෙතන ඔයා අකමැතිනම් මම නැගිටින්නම් ආපහු.."

   මදූෂ පවසද්දි මා කුමක් කරන්නද කුමක් කියන්නද කියා සිතා ගන්නට නොහැකිව බිම බලාගත්වනම සිටියෙමි.
  
  "මාත් එක්ක තරහද?"


 මම හිස වනා නැහැ යනුවෙන් පැවසුවෙමි.
  
  " එහෙනම් ඇයි මාත් එක්ක කතා කරන්නෙ නැත්තෙ?... අඩු ගානෙ බනින්න හරි...මගෙ මූණ බලන්න තරම් ලස්සන නැති නිසාද?"


  ඔහු දිගටම කියවාගෙන යයි. මා හිස ඔසවා මල්කි කොහේදැයි බැලුවෙමි. ඇය මා පත් වී සිටිනා අසීරුතාවය ගැනවත් නොසිතා පැතුම් එක්ක කතාවට වැටි ඇත. අනේ මම මොනාද දැන් කියන්නෙ?...
   
 "ඔයාට මාව කරදරයක්ද නෙත්මි.." 

ඒ පැනයෙන් මා තිගැස්සුණෙමි. මන්දයත් මට මෙතුවක් කලකට "නෙත්මි" කියා කිසිවෙක් ආමන්ත්‍රණය කර නොමැති හෙයින් හා ඔහු එය උච්චාරනය කල අයුරටය. මට ඉබේම ඔහු දෙස බැලුණෙමි. මා ඇසෙන නොඇසෙන ගානට "නැහැ" යනුවෙන් පැවසීමි. 

   "අම්මෝ... ඇති යාන්තම් කතා කරා ඔයා... මම බයේ හිටියෙ ඔයා මාත් එක්ක කතා කරන එකක් නැහැ කියල.." 

   බසය පිටත් වීමට සැරසේ. මේක මීට කලින් ගියානම් හරි එහෙනම් දැන් මම ගෙදර. අනේ මෙයා තව මොනව කියයිද දන්නෙ නෑ. මා සිටියෙ දෙගිඩියාවෙනි.
   
  "නෙත්මි... මට ඔයාට දෙයක් කියන්න තියෙනවා...."
     "ඇයි මට?..ඔයාගෙ හිත අරන් ගිය කෙනා අද ඇවිල්ල නැද්ද?
     "ඔහෝ.... ඒකද ඔයා මේ ඔරොප්පු වෙලා ඉන්නෙ?"
     "අනේ .. මම මොකටද කොහෙවත් ඉන්න අය එක්ක ඔරොප්පු වෙන්නෙ?"
     "ඔයා කැමති නැද්ද කොහෙවත් ඉන්න අය තමන්ගෙ අය කරගන්න?"
  
 ඔහු ඇසූ දෙයින් මා නිහඬ විය. දෙයියනේ මේ මොකක්ද මේ වෙන්න යන්නෙ. දැක්කෙත් ඊයෙ. මගෙ කකුල් දෙකත් එක්ක පණ නැහැ වගේ.
  
  "ප්ලීස්.. නෙත්මි.. ඔයා අකමැතිනම් මට කියන්න... මම තරහ නැහැ...ඒත් මාත් එක්ක කතා නොකරනම් ඉන්න එපා බබා..."
    
 මා දිගටම ගොළුවත  රැක්කෙමි. මල්කි පැමිණ ඊ ළඟ නැවතුමෙන් බසින්නට සූදානම් වන්න යයි කියනාතෙක්ම මා හිස එසවූවේ නැත. 
    
 "ඕකේ බබා...ඔයා එහෙනම් පරිස්සමට ගිහින් එන්න.... මම හෙටත් ඔයා එනකම් බලන් ඉන්නව.. හැබැයි මගේ ප්‍රශ්ණෙට උත්තරයක් එක්ක...."
    
 මදූෂ පවසද්දි මා ඔහු දෙස යන්තම් බැලුවෙමි. දෙදෙනාගෙම ඇස් එකිනෙක ගැටුණේය. 
   
  "මගේ හිත පරිස්සම් කරල තියාගන්න හොඳේ..." 


  ඔහු පවසද්දි මල්කි සමඟින් මා බසයෙන් බැස ගත්තාය. එදා මෙන් පැතුම් හා මදූෂ අපට අත වැනීය. මල්කි පෙරලා ඔවුන්ත අත වනා මා දෙසට හැරී සිනාසෙන්නත විය.
   
"එන්න එපා හිනවෙන්න... මාව තනියම දාල ගියා... අඩු ගානෙ මට මොකද කියලවත් බැලුවද?"

  මා අමනාපය මුසු හඬින් පවසද්දි මල්කි දිගටම සිනා සෙන්නට විය.


   "මොනා වෙන්නද? මම දැක්කා දෙන්නගෙ ආලවන්තකම... ඒකත් ජයසිරි මංගලම් කිව්වලු... මොකද මිනිහ කියන්නෙ.. කැන්දන් යන්නම් රන් මල් මාලා දාලා .. කිව්වද?"
    "අනේ මන්ද මල්කි.... උඹ හවස අපේ ගෙදර වරෙන් මම විස්තරේ කියන්නම්..."

 
 






















































Sunday, March 18, 2012


                                                         දෛවය





        3


   මතක ඇති කාලයක මා බසයේ ගමන් කර තිබුනේ නැත. එනිසාම මට මෙය තරමක අපහසුවක් ගෙන දෙන්නක් විය. නමුත් ගිහාන් අයියගෙන් මිදී නිදහසේ නිවසට යාමට වෙනත් මාර්ගයක් නැත. අපහසුවෙන් හෝ මෙයට හුරු වෙන බව මා සිතාගත්තෙමි. 
               
                 "ඒයි, මොනවද කල්පනා කරන්නෙ?.... මොකද?..... දුකද උඹේ ගිහාන් කුමාරය ගැන?....
                    "අනේ මේ..... මට ඇති දුකක් නැහැ බං..... මට මේ ගමන ටිකක් හුරු වෙන්න වෙයි. මම හිතුවෙ ඒ ගැන."
                   " ටික දවසකින් මේකට උඹ හුරු වෙයි සුවී.....එතකොට තේරේවි මේ ගමන පයින් යන එක තරම් අමාරු නැහැ කියල....."
                   "හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්.......මමත් හිතුව ඒක"


                   බසයේ මුළුමනින්ම පාසල් ළමුන්ගෙන් පිරී ගොසිනි. එක් තැනක හිනා හඬ, තවත් තැනකින් සිංදුවක් හා එයට සරිලන පරිදි කෙරෙන විසිල් ගැසීමකි. මේ ගමනත් නරකම නැහැ. අමුතුම ලෝකයක් වගේ. ධර්මාශෝක සහ දේවානන්ද යන පාසල් දෙකේම පිරිමි ළමුන් ඉමහත් දඟකාරකම් කරමින් බසයම දෙවනත් කරන්නට විය. මට මෙය  ටිකක් නුහුරු අත්දැකීමකි. මන්ද යත් අප පාසල බාලිකාවක් බැවිනි. මා සිටියේ පිටුපස සීට් පේළියට පේළි දෙකක් ඉදිරියෙන් ඇති සීට් එකේ ජනේලෙ අයිනට වන්නට ඉදගෙනය. එකපාරටම මාගේ උකුලට පොත් දුසිම් දෙක තුනක් පමණ පිරෙන්නට වූයේ මට සිතා ගන්නටවත් නොහැකි අන්දමිනි. මා මල්කි දෙස බැලීමි. ඇයටත් එයම වී ඇත. එහෙත් මල්කි සිනාසෙමින් ගානක් නොමැති ලෙස හිඳී. මා එකවර හිස ඔසවා බැලුවෙමි. අපේ සීට් එක ළඟින්ම පිරිමි ළමයින් දෙතුන් දෙනෙකු කිසිදු ගානක් නොමැති අයුරින් සිනාසෙමින් ලොකු කතාවකට වැටී ඇත. මගේ කේන්තියේ සීමාව ඉක්මවා යන්නට විය. මා පොත් ටික අසුන මත තබා නැඟිට්ටෙමි. මල්කි මට වාඩිවන ලෙස ඇස් වලින් සංඥා කරන්නට විය. මා එය ගණනකට නොගෙන සිටගත්තෙ අප අසල සිටි පරිමි ළමුන් දෙසට මාගේ කෝපය පළ කරමිනි.
   
                  "ආ... ඇයි නංගි..? මුකුත් ප්‍රශ්ණයක්ද?"


එතන සිටි කටකාර සිසුවෙක් මගෙන් විමසුවේ මට නෝන්ඩියට හිනා වෙමිනි. එයින් මගේ ඉවසීම මා අතැර යන්නට විමි.
                  
                     "ඔව්, ඇයි ඔයා ප්‍රශ්ණෙ විසඳන්නද? 
                 "ඒයි,.... මේ බලාපල්ලා අපේ බස් එකට අද ඇවිල්ලා අපිටම මෙයා පාට් දාන හැටි. මේ නංගී......... ඕව තියාගන්න එපා හරිද? අපි හොඳට හොඳයි.. නරක් වුනොත් ඉතින් අපි තරම් නරක අය තව නැති වෙයි හොඳේ.... 
             
                දබරැඟිල්ල මා වෙත දිගු කරමින් තවත් සිසුවෙක් පැවසීය. මා ඇත්තටම එයින් බිය වුණි. මගේ ඇස් කඳුළින් පිරෙන්නට ගත වූයේ නිමේෂයකි. 
  
                   "හා...හා.... පැත්තකට වෙයල්ලා... මොකක්ද බං උඹල මේ කරන්නෙ? ඒ ළමයට එයාගෙ පාඩුවෙ යන්න දීපං"
                   
                      මඳක් එහායින් සිටි සිසුවෙක් අප සිටින තැනට පැමිණෙමින් පැවසීය. මා ඔහු කවුරුන්දැයි බලන්නටවත් හිස එසවූයේ නැත. මල්කිද පොත් ටික පසෙකින් තබා නැඟිට මා අසලින් හිටගත්තාය. 
              
                       "  සුවී.... මේ... දැන් ඔය කඳුළු පිහිදගනින්...... බස් එක යන්න හදන්නෙ..... අපි විනාඩි 15න් ගෙදර. උඹ ඔහොම ගෙදර ගියොත් ඉතින් උඹට ආයෙත්නම් බස් එකේ යන්න ලැබෙනව බොරු."


                      ඇය කියූ දෙයින් මා පියවි තත්වයට ආවෙමි. අපෝ.. ඒකනම් වෙන්න දෙන්න බැහැ යටි සිතට මිමිණූ මා ඇය දෙස බැලීමි. ඇය සිනාසෙමින් මුව වසාගත්තාය. 
                           
                                                      "  ඇයි?  "


                මා ඇයගෙන් විමසූ විට ඇය ඇස් කොනින් මට අප අසලට ආ මාගේ ගැලවුම්කරුවා පෙන්වන්නට විය. මා තරමක් හිස හරවා බැලූ නොබැලූ තරමට ඔහු දෙස බැලීමි. ඔහු සිනා සී මදෙස බලාගත්වනම සිට ඇත. මා ඉමහත් ලැජ්ජාවකට පත් වුණෙමි. ඒ මා ඔහු දෙස බලනව ඔහු දුටු හෙයිනි. මල්කිත් කරන්නෙ කරොත් ඔහොම වැඩක් තමයි. බසය ගමනාරම්භය කරන්නට විය. 
  
                                         "බය වුණා නේද ඔයා ? 
                   
                       ඔහු සිනහවක් සමඟින් ඇසුවේය. මා හිස සලා පමණක් ඔව් යැයි පැවසුවෙමි.
                  
                          "මොකද? මාත් එක්ක කතා කරන්නත් බයද? බය වෙන්න එපා. උන් එහෙම කතා කරාට නරක  නැහැ. ඔයාට විතරක් නෙමේ මේ බස් එකට අළුතින් එන ඕනම කෙනෙකුට ඔය රැග් එක උන් දෙනව. වැඩේ උනේ ඔයා ටිකක් මුරණ්ඩු වුන නිසා තමයි උන් ඔයාට එහෙම කතා කරේ. ගණන් ගන්න එපා ඒක එච්චර"
    
                   මා බිම බලගත්වනම ඔහුගේ කියවීමට සවන් දුන්නෙමි. මෙයානම් කියයි මම බයවුන හැටි දන්නෙ මමනෙ. 
   
                  "කෝ?...මම විතරනෙ කතා කරන්නෙ. කෝ අර පණ්ඩිත කට?
                                
                                 ඔහු විමසූ අයුරට මට සිනා පහළ විය. 
  
                         "අපෝ ...ඇති යන්තම් හිනාවත් වුනා. මේ ඔයාගෙ යාළුවට මොකද වුනේ  ඔහු මල්කිගෙන් ඇසුවේය. 
                   "එයා ටිකක් බය වෙලා ...ඒකයි.. නැත්නම් ඔයාට කනක් ඇහිල ඉන්න වෙන්නෙ නැහැ මෙය කියවන්න පටන් ගත්තනම්.


                          මල්කිටත් කට පියාගෙන ඉන්න බැරි හැටි. හරියට දන්න කෙනෙක් එක්ක වගේ කතා කරන්නෙ. මා වැලමිටෙන් ඇයට හිමින් ඇන්නෙමි. 
    
                             "ඌයි..."ඇයගෙ සද්දෙට මා මෙන්ම ඔහුද තිගැස්සුණේය.
                     "මොකද? ඔයාව මොකෙක් හරි කෑවද? ඔහු මල්කිගෙන් විමසුවේය.
                    "සතෙක් කෑවනම් කමක් නැහැ. මේ වැලිමිටි පාරවල් තමයි ඉවසන්න බැරි"
                 
මල්කි කී දෙයට ඔහු මහ හඬින් සිනාසෙන්නට විය. ළමුන් කීපදෙනෙක් අප දෙස බලනවා මා දුටුවෙමි.
                                        
                                                  "මල්කී....."


                මා මල්කි දෙස බලා අමනාපය මුසු හඬින් ඇය ඇමතීමි. ඇයටනම් කට පියාගෙන සිටින්නට බැරි හැටියක්.
                  
                          "මෙයාගෙ නම මල්කිද? මෙච්චර වෙලා කතා කරාට නම ගම දැනගන්න බැරි වුනානෙ ඇත්තටම. මම මනූෂ.....මනූෂ ප්‍රභාත් වික්‍රමසිංහ...ඔයාගෙ නම ......


                      ඔහු මදෙසට හැරෙමින් විමසුවේය. මා නම කියන්නට ප්‍රථමයෙන් මල්කි හඬ අවදි කළාය.

                     "මෙයාගෙ නම සුවිනි නෙත්මිණි රණසිංහ.... අපිනම් කියන්නෙ සුවී කියල... ඔබ.. කැමති විදිහෙ නමකින් ආමන්ත්‍රණය කරාට අපේ කිසිම අමනාපයක් නැත.

                        මල්කිටනම් ඇත්තටම පිස්සුද මන්දා. ඔහේ කියවනව. බස් එකෙන් බැහැපුදෙන්කො මම එයාව අල්ලගන්න.


                          "ෂා... සුවිනි නෙත්මිණි.....ලස්සන නමක්නෙ ඔයාට තියෙන්නෙ. මම ඔයාට නෙත්මි කියල කතා කරාට කමක් නැද්ද? "
                          "කමක් නැහැ"
                       "ඔයා අකමැතිනම් මමත් සුවී කියලම කතා කරන්නම්. ඒත්.... නෙත්මිණි කියන නම තමයි ඔයාට ගැලපෙන්නෙ. ඒකට හේතුව මම අනිත් දවසෙ කියන්නම්.
  
                           ඒ කියන්නෙ අනිත් දවසෙත් මෙයා කතාවට එන්නයි හදන්නෙ. බලමුකො අනිත් දවසෙ එයා කතා කරන හැටි. මා කිසිත් නොකියා යන්තම් සිනාසුණෙමි.


                     "මේ...මනූෂ..ඔන්න අපි ඊළඟ නැවතුම ආවම බැහැල යනව ගෙදර බලා.....බෙල් එක ගහනවද බස් එකෙ පිං සලකා.......නොහැකි වුණත් අහිතක් නැහැ අපි යනවා...."


                              මල්කි  ගීතයක තාලෙට පැවසමින් මනූෂට බෙල් එක පෙන්නුවාය. 


                   "අපෝ ඕක සුළු දෙයක්නෙ... මනුෂත් බල බලා උන්නෙ... හෙල්ප් එකක් දෙන්නෙ ඔයාලට කොයි වෙලේද කියලා......"


                                                 මෙතෙක් වෙලා නිහඬව සිටි මනූෂගෙ යාළුවෙක් ද ගීතයක තාලෙට පැවසුවේය.
   මනූෂ සිනාසී බසයේ සීනුව නාද කළේය. 


                                          "අපි යනව මනූෂ..ආයෙත් හම්බවෙමු.."


                 මල්කි මනූෂට හා ඔහුගේ මිතුරාට අත වනා පැවසුවාය. මා සිටියෙ ජනේලෙ අයිනට වන්නට හෙයින් මා පැමිණියෙ මල්කිට පසුවෙනි. එක්වරම මනූෂ ඉදිරිපස තිබූ අසුනෙ ආධාරකය මත අත තබා මට එළියට ඒමට නොහැකි ලෙස මා හරස් කළේය. මට ඉබේටම ඔහු දෙස බැලුනි. ඔහු සිනා සී "හෙටත් එන්න" යයි පවසා මට යන්නට ඉඩ දුන්නේය. මා කිසිවක් නොකියා බසයෙන් බැස ගතිමි. ඔහු අත වනනවා මා දුටුවෙමි. මල්කිද පෙරළා ඔහුට අත වැනුවාය.  
  


                                                                             මතු සම්බන්ධයි

Thursday, March 1, 2012



                               දෛවය

        
         2


ඇඳ විට්ටමට කොට්ටයක් තබා මා එහි හාන්සි විය. ඇඳ අසල තිබෙන කබඩය උඩ තබා ඇති මාගේ පුංචි කැසට් යන්ත්‍රය වෙත මගේ අතැඟිලි දිව යන්නේ නිරයාසයෙනි. මා එහි ස්විචය කරකවා එය ක්‍රියා කෙරුවෙමි. එය මා සෑම දිනක්ම කරන සුපුරුදු අංගයකි. එය තුලින් මා බෙහෙවින් ප්‍රිය කරන ගීතයක් ගලා ඒ. මාගේ සිතට සහනයක් දැනෙන්නට විය. දෑස තදින් පියාගෙන ගීතයට සවන් විවර කළ විට සිතේ තිබෙන සියලුම දොම්නස් ගති පහව යන සෙයක් මට දැනේ. " දුවේ නුඹ මගෙ ප්‍රාණයයි... සැබෑ වුව සුබ සිහිනයයි.....සෙනෙහසින් කුළ ගෙට පිය නඟන්නේ....... සනුහරේ අභිමානයයි..." සුනිල් එදිරිසිංහ ගායකයානන්ගෙ ගැයුම මා අසා සිටින්නෙ දැහැනකටැ සම වැදී ය.

ඇඳ උඩට ඉතා තදින් යමක් වැටුණා සේ දැනීමෙන් මා එකවර එම දැහැනින් මිදුණෙමි. ගිහාන් අයියා..


                  "මොනා ද ගිහාන් අයියා... ඔයාට මැනර්ස් කියල දෙයක් නැද්ද ආ....?"
                                              "ඇයි සුවී? ....මොකක්ද අවුල ?"
            "කෙල්ලෙක්ගෙ කාමරයට ඔහොම එකපාරටම එන සිරිතක් නැහැ කියල ඔයා දන්නෙ නැද්ද?"
මා තරහෙන් ඉවත බලාගෙන පැවසුවෙමි. 


                "අයියෝ.. බබා එහෙම වෙන්න ඕන තැන් තියෙනව. ඒත් මෙහෙ මම එහෙම වෙන්න ඔනෙ නැහැනෙ. මොකද ....මේ ගේ මට මගෙම ගෙදර වගේනෙ....... මේ ඔන්න මම අම්මගෙන් අවසර ගත්ත ඔයාව හෙට පාටියකට එක්ක යන්න. නෑ... බෑ ....කියන්නෙ නැතුව රෙඩි වෙලා ඉන්න හොඳේ....." 
                             "අනේ ගිහාන් අයියා... මට හෙට වැඩ වගයක් තියෙනවනෙ." 
                        "ඒව හරියන්නෙ නෑ..... ඒ වැඩේ වෙන දවසකට දාගන්න. ඕකේ. .....මම හරියටම හවස 7 වෙනකොට ඔයාව ගන්න එනව. ඔයා රෙඩි වෙලා ඉන්න... එච්චරයි. ඔන්න එහෙනම් මම ගියා. බායි..."
ගිහාන් අයියා කාමරයෙන් ගිය පසු මා මව සොයා දිව ගියෙමි.
                                                                       
                                         "අම්මා..".


මාගේ ඇමතීමෙන් ඇය කියවින් සිටි පුවත්පත පසෙකින් තබා මා දෙස නෙත් හෙලීය.


                             "මොනා ද අම්මා මේ කරන වැඩ..? ඇයි අම්ම ගිහාන් අයියට මාව පාටි එකට එක්ක යන්න හා කිව්වෙ?"     ඇයගේ ඉදිරිපසින් බිම හිඳගත් මා විමසුවෙමි.
                             "ඉතිං මොකක්ද ඒකෙ ඇති වැරැද්ද? එයා පිට ළමයෙක් නෙමේ...... අනික... හැමදාම ඔයාව එයා එක්ක යන්න අහන්නෙ නැහැනෙ ළමයො."
                                     "අනේ අම්මා ..මම ආස නැහැ යන්න."
මම පුටුවේ වාඩි වී සිටි මවගේ දෙදණ මත මගේ හිස තියා ගතිමි. ඇය සෙමින් මගේ හිස පිරිමදිමින් හඬ අවදි කළාය.
                           "සුදු දෝණි.. මේ අහන්න. දැං ඔයා පොඩි බබෙක් නෙමේ. ගිහාන් කියන්නෙ කවදහරි ඔයා මැරි කරන්න ඉන්න කෙනා. ඔයා ඉගෙන ගෙන ඉවර වෙනකම් අපි ඉන්නෙ ඒ වැඩ පිළිවෙලක් කරන්න. ඔයා ඒ නිසා ඒ ළමයගෙ හිත රිද්දන්නෙ නැතුව ඔය ගමන ගිහිං එන්නකො." 
මේ ගැන කතා කරන්න හොඳම වෙලාව මේක තමයි. අම්මම මාතෘකාවට ආපු එක හොඳයි එක අතකට. 
                           "අම්මා.." 
                                   "ම්ම්ම්ම්ම්...."
                                "මම අම්මට කියන්නමයි හිටියෙ...... අනේ අම්ම ගිහාන් අයියව මම ස්කූල් ගිහින් එද්දි මගෙ පස්සෙන් එවන එක නවත්තන්න කියන්න අප්පච්චිට...... මම ආරක්ෂා වෙන්න මම දන්නව. එයා එන එකෙන් වෙන්නෙ මම ලැජ්ජා වෙන එක විතරයි..... ප්ලීස් අම්මා.."
                                "අනේ බබා....... ඔයා දන්නවනේ.... ඔයා පයින් යනවට අප්පච්චි කැමති නැහැ කියලා. ඒත් ......මම කැමැත්ත අරන් දුන්නෙ බොහොම අමාරුවෙන්. ඔයාට යන්නම ඕන කිව්ව නිසා...... ගිහාන් අයියව යවන්නම් කියල පොරොන්දු කරගෙන ඔයාගෙ ආරක්ෂාවට. ඒක නතර කරන්න ගියොත් අප්පච්චි කියයි ඔයාට පයින් යන එක නතර කරන්න කියල. ඔයා ඒකට කැමතිනම්..... මම ගිහාන් අයියා එන එක නවත්තන්නම්."


මදැයි මමත් දෙයක් කිව්වා. දැන්නම් ඉතිං ඒ වැඩේ හරියන්නෙ නැති බව මට සක්සුදක්සේ පැහැදිලියි. හිතුනොත් මම බස් එකේ යන්න පටන් ගන්නවා. එතැනින් නැගිට මිදුලේ ඇති ඔන්චිල්ලාව වෙත ඇදුණු මා ගිහාන් අයියා ගැන සිතන්නට පටන් ගතිමි. ගිහාන් අයියා උසස් පෙළින් පසු ඉගෙනුම අත හැර ව්‍යාපාරයක් කරගෙන යයි. ඔහු නගර කීපයකම පොත් සාප්පු පවත්වාගෙන යයි. එයට බෙහෙවින් කැමති වූයේ අප්පච්චිය. මොකද අප්පච්චිගෙ ව්‍යාපාර වලටද ඔහු හවුල් කරගත හැකි නිසාය. ඒත් ගිහාන් අයිය වැඩි හරියක් කරන්නෙ යාළුවන් සමඟ විනෝද විමය. මිල මුදල් අතින් අඩුවක් නොවූ හෙයින් ඔහුට කිසිම දෙයක වගක් නොවීය. අනේ මංද අප්පච්චිලා මට ගිහාන් අයියව ප්‍රපෝස් කරාට මගෙ හිතේ එයාට වැඩි කැමැත්තක් නැහැ. මේ ගැන හෙට මල්කි එක්ක කතා කරන්න ඕන. ඒකිගෙන්වත් බලමු මේකට සහනයක් ලැබෙන විදිහෙ උත්තරයක් හම්බවෙයිද කියලා. කල්පනා සාගරයෙ කිමිදී සිටි හෙයින් අප්පච්චිගෙ වාහනේ ගේට්ටුවෙන් ඇතුළු වෙනකම් මට වගක් නොවූ හැටි. පෝටිකෝව යට කාරය නවත්වා අප්පච්චි සිනා මුසු මුහුණෙන් යුතුව මා දෙසට ආවේය. 


                        "මොකද මගෙ කෙලි පැටික්කි අද මෙතනට වෙලා... මම එනකම්ද? ම්ම්ම්ම්..."


මා නැඟිට අප්පච්චිගෙ බඳ වටා මගෙ අතක් යවා අනික් අතින් මගෙ කරමත තිබූ අප්පච්චිගෙ අත අල්ලාගෙන ඔහුට තුරුළු වුණෙමි. මගේ හිස සිපගත් ඔහු 


                      "අපි ගෙට යමු සුදු දෝණි මට අදනම් හරිම මහන්සියි" පැවසීය. අප ගෙට ඇතුළු වනවිට සිනාමුසු මුහුණින් ආලින්දයට ආ අම්මා
                        " ආ.. මම මේ බලාගෙන හිටියෙ කාර් එක නවත්තල කොහෙද ගියෙ කියල...මේ නාකි ළමිස්සි හුරතල් කරන්නනෙ ගිහින් තියෙන්න" යැයි පැවසීය.
                         "අනේ ඉතිං මම මෙයාව හුරතල් කරන්නෙ නැතුව වෙන කාව හුරතල් කරන්නද නෝනා.. මගේ එකම කෙල්ලනෙ මේ...ඔයයි දුවයි තමයි මගෙ එකම සතුට සැනසීම. ම්ම්ම්..ඒක නෙමේ නෝනා ගිහාන් පුතා ආවෙ නැද්ද අද මේ පැත්තෙ?"
                             "අපෝ මොකද නැත්තෙ මහත්තයා ඇවිල්ල දවල්ට කාල වැඩ වගයකට යන්න ඕන කියල ගියා.
                                "ම්ම්ම්ම් මිනිහා මොනා නැතත් බාරගත්ත වැඩේ හරියට කරනව." එසේ කියා අප්පච්චි පුටුවට බර විය. මමද ඔහු අසලින්ම හිඳ ගත්තෙමි.
                              "ඔයා මොනාහරි බොනවද?........ නැත්නම් වොෂ් එකක් අරගෙන කෑම කනවද මහත්තය? "අම්මා අසයි.
                           " කූල් ඩ්‍රින්ක් එකක් බීල ඉමු නෝනෙ" 
අම්මා  අප්පච්චිට බීම වීදුරුවක් ගෙනෙන්නට ගිය පසු මා අප්පච්චි සමඟ කතාවට වැටුණෙමි. 
                          "අප්පච්චි .....ගිහාන් අයිය මට හෙට පාටි එකකට යන්න කතා කරනව. මම වැඩිය ආස නෑ අප්පච්චි යන්න. අනේ අප්පච්චි කියනවද ගිහාන් අයියට මාව එක්ක යන්න එපා කියල. එයා අම්මගෙන් අහල අම්ම කියල කමක් නැහැ කියල."
                                                    " ඇයි දැන් ඔයා යන්න අකමැති ?"
                                  "මට වැඩ වගයක් තියෙනව අප්පච්චි. අනික..... මම අදුනන්නෙත් නැහැ එයාගෙ යාළුවො වැඩිය. මම පස්සෙ දවසක යන්නම් අප්පච්චි..... මගෙ හොඳ අප්පච්චිනෙ...... කියනව නේද?" මා පින්සෙන්ඬු විය. මුවට මඳ සිනහවක් නඟාගත් අප්පච්චි හිස සැලීය. 
                                   "උම්ම්ම්මා.. මගේ හොඳ...... අප්පච්චි "යි පවසමින් මා ඔහුගේ මුහුණ සිප ගත්තෙමි.
                           "ආ..ආ.. මොකද මේ...අද මොකකටද අප්පච්චිව රවටගත්තෙ" යි අසමින් අම්මා බීම වීදුරුවද රැගෙන අප වෙතට ආවාය.
                                 "මේ... ගිහාන් පුතා පාටි එකකට යන්න කතා කරා කියන්නෙ. මෙයාට යන්න බැහැලු. මට කියන්නලු ඒක."
                               "මම කමක් නැහැ කිව්වනෙ මහත්තයා..... ඒ ළමය බලයි දැන් බෑ කියන්නෙ ඇයි කියල"
                               "කමක් නැහැ මෙයා අකමැතිනම් ඔන්න ඔහෙ හිටපුදෙන් නෝනෙ ...... මම ගිහාන්ට කියන්නම්කො."


අම්මා හිස සලා එය අනුමත කළාය.  ඔවුන්ට කතා කරන්න ඉඩ දී මා කාමරයට ආවෙමි. අප්පච්චි සහ අම්මා කවදාවත් තීරණයකදි ගැටුණේ නැත. කිසිම විටෙක ඔවුන් බහින් බස් වනවා මා අසා නැත. අප්පච්චි සහ අම්මා අතර හොඳ තේරුම් ගැනීමක් තිබුණි. අප නිවස එනිසාම සුන්දර නිවහනක් විය. මා නිතරම පැතුවේ අප්පච්චි වගේ ගතිගුණ තියෙන පිරිමියෙක් මගෙ ජීවිතේටත් ලැබෙන්න කියාය.            


                                                                  මතු සම්බන්ධයි  ,,,,,,,,,,,,,,,,