Friday, June 29, 2012

ඇස් ආදරෙන් පුරෝනා......

ඇස් ආදරෙන් පුරෝනා
හිත පාලුවෙන් ගලෝනා
ඔබ මගෙම වෙන්න ඕනා
මියැදෙන්න දෙන්න උනුහුමේ ඔබේ
මා හදවතින්ම උමතු වී තියේ

ඔබ සිහිවන හැම මොහොතක් ගානේ
දැකගන්නට ඔබ මා ළඟ නෑනේ
නුදුරේදිම කරගන්නට මාගේ
අවසර දෙන්නට පමණයි ඕනේ

ඉඩ දෙන්නම් පපුතුරේ
නැලවෙනු මැන සොඳුරියේ
මට ඔබම තමඉ ඕනා

ඇස් ආදරෙන් පුරෝනා...

රැකගන්නම් ජීවිතයම වාගේ
එකසැරයක් හදගත්තානම් මගේ
සැනසෙන්නට හමදාමත් ආයේ
එනවද හිමිකම ගන්නට මගෙ හීනේ
නොසිඳෙන මහ සාගරේ
තරමට මගේ ආදරේ
මට ඔබම තමඉ ඕනා
                            

Thursday, May 3, 2012

වෙසක් පැතුම



සැමගේ සිත් සතන් පිනටම යොමුවේවා
පස්පව් වලින් මිදී මිනිසුන් තුටුවේවා
පිංබර වූ දිනේ පිං සිතුවිළි පැතිරේවා
වෙසක් සිරියෙන් තුන් ලෝකෙම බැබළේවා
!
!!!
!!!!!!!
!!!!!!!!!!!!!!
!!!!!!!!!!!!!!!!!!!!
!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

Tuesday, May 1, 2012


                                                 දෛවය      




     5


  හිත පුරාම ලොකු දුකක් මෝදු වෙලා. මට මේ වෙන්න යන්නෙ මොකක්ද කියල මටම හිතාගන්න බැහැ. මොනව වුනත් දැන් මගෙ හිතත් මට පාලනය කරගන්න බැරිවේගන එනව වගේ. ඒ කියන්නෙ මම මදූෂ ගැන හිතන්න අරගෙන. කොපමණ කල් ගිහින් වුනත් මොනා කෙරුවත් ගිහාන් අයියට මගේ හිතේ ගන්න බැරිවුන තැන දවස් දෙකකින් මදූෂ අරගෙන. එහෙම වුනේ කොහොමද කියල කොච්චර හිතුවත් මට තාම හිතාගන්න බෑ. ඒත් මීට වඩා මේ දේ ගැන හිතන්න මම බයයි. කොහොම වුනත් මගේ ඉරණම ලියවිලා තියෙන්නෙ වෙන විදිහකට නිසා මම මේ ගැන හිතල තවත් වැඩක් වෙන්නෙ නැහැ. 
                   
                      ඒත් සිතට ආපු සිතුවිල්ලකට ගැලපෙන ගීතයක පද පේළි දිනපොතේ අකුරු කරන්නට මම ලාච්චුව ඇර දිනපොතේ පිටුවක් පෙරළා එහි මෙසේ ලියා තැබුවෙමි.
                    
                       " දෑස වසාගමි ඔබ නොපෙනෙන්නට සිහිනෙක දැවටී ඔබ එනවා...
                         හිත හිරකරගමි ඔබට නො එන්නට සිතුවිල්ලක් වී ඔබ එනවා..."


 ****************************************************************************
  
                                         " නෝනේ.. නෝනේ.. "


                       අප්පච්චිගෙ හඬින් මා අවදි විය. හොදටම හවස් වෙලානෙ... අම්ම මට අද ඇහැරුවෙ නැත්තෙ මොකද? අම්මා කොහෙ ගිහින්ද? අප්පච්චි මෙච්චර කතා කරද්දිත් අම්මා සද්දයක් නැත්තෙ සිතමින් මා කාමරයෙන් එළියට ආවෙමි.

                                    " කෝ සුදු දෝණි අම්මා? "     මා දුටු සැනින් අප්පච්චි විමසුවේය.


                                  "දන්නෙ නැහැ අප්පච්චි..... මට නින්ද ගිහින් හිටියෙ.... දැනුයි ඇහැරුනෙ... අම්ම මාව අද ඇහැරුවෙත් නැහැ හවස් වෙනකම්ම. අම්ම කොහෙ ගිහින්ද මන්දා? "  කියමින් මා අප්පච්චිට තුරුළු විය.


"හ්ම්ම්ම්..... එහෙනම් මම දන්නව අම්ම ඉන්න තැන. යමු අපි දෙන්නම කුස්සිය පැත්තට"  කියමින් අප්පච්චි මාවත් රැගෙන කුස්සියට ඇතුළු විය.


"ආනේ!!! මහත්තය ආවද? මට ඇහුනෙවත් නැහැ. කුසුමයි මමයි මේ කෑම ටිකක් හැදුව."  අම්මා කියනවාත් සමඟ මම වටේටම ඇස් කැරකැව්වෙමි. මොනාද අද තේ වෙලාවට අම්මා හදපු කෑම එක?

"ම්ම්ම්ම්ම්...හොඳ සුවදක් නම් එනවා. අම්මෙ ඇයි මෙච්චර කෑම ගොඩක්....අද රෑට කන්න දෙන්නෙ නැද්ද අපිට?"
"ඔයාට ඉතින් මම එකින් එකට කියන්න ඕනනෙ දූ... මම ඊයෙ කිව්වෙ අද නැන්දල එනව කියල. "
                        "මට අමතක උනා අම්මා.".
"හා.. හා..දැන් ඒකෙන් කමක් නැහැ ගිහින් වෙන ඇඳුමක් දාගන්න. පිළිවෙලක් ඇති ඇඳුමක් ඇඳගෙන එන්න හොදේ...මහත්තයට තේ එකක් දැන් හදන්නද?"
"එපා නෝනෙ... මම මෙහෙමම නාගෙන එන්නම්. නංගිල ආවට  පස්සෙ තේ බොමු."
"මහත්තයගෙ කැමැත්තක්...මොකද ළමයො කරන්නෙ තාම ඔතනට වෙලා... ගිහින් ලෑස්ති වෙන්නකො එක පාරක් කිව්වම "
"අනේ අම්මා... මෙහෙම හොඳයිනෙ..මොකෝ නැන්ද මාව දැකපු  නැති කෙනෙක්ද?"
"මේ..මේ.. නැන්ද ඔයාව දැකල තිබුනට කමක් නැහැ. මම කියපු දේ කරන්න දැන්. මහත්තය...... ඔයාවත් මේ ළමයට කියන්නකො....."
"නෝනෙ..... ඒ ළමය කැමති විදිහට එයාට ඉන්න දෙන්න...... මම යනව නාගන්න."
"ඔයා තමයි මහත්තය මට මේ ළමයව හදාගන්න දෙන්නෙ නැත්තෙ." අම්මගෙ කෑ ගැසීම මැද අප්පච්චි සමඟින් මමද කුස්සියෙන් පැමිණියෙමි.


"සුදු දූ..අම්මව තරහ ගස්සන්නෙ නැතුව ඔන්න ඔය මොකක් හරි වෙන ඇඳුමක් දාගන්න. මමත් නාගෙන එන්නම්. හ්ම්..දැන් යන්න"


               අප්පච්චි සිනාසෙමින් මගෙ ඔළුව අතගා පැවසුවේය. මා හිස වනා සිනාසී කාමරය වෙත පැමිණියෙමි. එහෙත් මට සුන්දරව ලක ලෑස්ති වන්නට සිත් නොදේ. අම්ම ඊයෙ පැවසූ ලෙස අද නැන්දල මෙහි එනු ඇත්තේ මගෙත් ගිහාන් අයියගෙත් විවාහයකට පෙර සූදානමක් ලෙස බැඳීම් වැඩිකර ගැනීමටය. මින් පෙර එයට මා සිත හදාගත්තද දැන් දැන් මා එයට තදින්ම දුක් වෙමි. හරි මම කරන්නම් හොඳ වැඩක්.
                     මා දුරකථනය ගෙන මල්කිගෙ අංකය එහි සටහන් කර සවන් දුනිමි. එය බොහෝ වෙලාවක් නද දුන්නද මල්කි අමතන බවක් නොපෙනේ. මොනව කරනවද මන්ද මෙයා ෆෝන් එකට ආන්සර් කරන්නෙ නැතුව. අද නැන්දල එනකම්ම් මට කෝල් කර කර තමයි ඉන්න වෙන්නෙ. ෂික්...
  
                                   "හලෝ... මොකද.... මේ.... පාන්දරම? " මල්කි ඕනෑවට එපාවට මෙන් මගෙන් විමසීය.
                  "පාන්දර? අනේ මල්කියො උඹ තාම නිදිද? පාන්දර නෙමේ බං තාම හවස. නැඟිටපංකො මට උඹෙන් උදව්වක් ඕන."
               "හවස? අයියෝ මට එහෙම් පිටින්ම උඹ හවස එන්න කිව්ව කියල අමතක වුනා සුදූ. සොරි සුවියො...ඒක නෙමේ මොකක්ද බං උඹ අර කිව්ව උදව් කතාව? ආආආ....හරි හරි මට තේරුනා.. ඔයාට අරයට පෙම් හසුනක් මගේ අතේ යවන්න හිතුන නේද? මම එක පයින් ඔබ දෙපළගෙ දූතයා වෙන්නම්."
                  "අනේ මේ මල්කි තාම නින්දෙන්ද දොඩවන්නෙ. මට යවන්න පෙම් හසුනක් නෑ බං. දූතය නෙමේ අද මෙහෙට බූතයෙක් එනව. අනේ මල්කියො ඔයා ලඟ තියෙනවනම් මට ලොකු කරාබු දෙකක් ගෙනෙන් ලා නිල් පාට. උඹ දන්නවනෙ මම ළඟ ඔය වගේ කරාබු නැහැ කියල. අනිත් විස්තර මම ආවම කියන්නම්."
                "හෝව් .....හෝව් .....කාටද බං කරාබු දෙක? උඹ එහෙම ඒව දාන්නෙ නැහැනෙ කවදාවත්? උඹ දැන් කවද ඉදන්ද බූතයන්ට කරාබු දාන්න පටන් ගත්තෙ? මොනාද මේ කියන්නෙ මට තේරෙන්නෙ නැහැ සුවියො.."
                   "මම කිව්වනෙ ආවම විස්තරේ කියන්නම්. උඹ පැහෙන්නෙ නැතුව අරන් වරෙන් පුළුවන්නම් ඉක්මනටම."
                     "උඹ හිතුවද මගෙ කකුල් වලට රෝද හයි කරල තියෙන්නෙ කියල. මම ඇඳගෙන එන්නම්. පැය බාගයක්වත් දීපං "
                  "ඔව් ඔව් ඇඳගෙන වරෙන් නැත්නම් ඉතිං පාරෙ එන්න බැහැනෙ...හිහ්.. හිහ්...හිහ්"
                  "අනේ මේ...උඹ කිව්වෙ නැත්නම් මම අඳින්නෙ නැතුව එන්න කියල හැදුවෙ.."
                   "හරි හරි ඉක්මනට වරෙන් එහෙනම්, මම තියන්නම්, බායි"
.
                      දුරකථනය විසන්ධි කර මා ඇඳුමක් සොයන්නට අල්මාරිය ඇරියෙමි. මහත් පරිශ්‍රමයක් දරා මා සිතා සිටි අන්දමෙ ඇඳුමක් සොයා ගත්තෙමි. මල්කි පැමිණෙන විට මා හතරෙන් තුන් පන්ගුවක් මගේ සූදානම් වීමේ වැඩ අහවර කරගෙන සිටියෙමි. මා දුටු විගස මල්කි ගල් ගැසූ සේ දොර ළඟ සිටම ඇස් ලොකු කරගෙන කටට අතක් තබා ඇගේ ඇරුණු මුව වසාගෙන සිනහසෙන්නට විය.


                              " මොකද ඔයා හිනාවෙන්නෙ?"
                    "ඈ.. බං සුවී.. මොකක්ද මේ වෙන්න යන්නෙ... මට උඹව අඳුනන්නත් බැරි වුනා එකපාරටම.....උඹ පෙම්වත් වුනා විතරයි මෙච්චර ලස්සන වෙයි කියල මට හිතාගන්නවත් බැහැ."
                     "අනේ මේ මල්කි... මගෙ පෙම්වත් වීමක් නෙමේ බං . මෙතනින් වාඩිවෙයන් මම කියන්න විස්තරේ. අද ගිහාන් අයියගෙ ගෙදර අය එනව මෙහෙ. ඒ කිව්වෙ මගෙ අනාගත සහකාරය සහ එයාගෙ ෆැමිලි එක. හොඳ නැද්ද මම මෙහෙම ඇඳගෙන හිටියම? "
                      "මේ..උඹ මගෙන් මුකුත් අහගන්නෙ නැතුව ඉන්නවද? වෙලාවකට ගිහාන් අයියට උඹ කැමති නැහැ. තව වෙලාවකට එයාට කැමති වෙනව. මොකක්ද බං මේකෙ තේරුම? "
                             "පොඩ්ඩක් ඉන්න උඩ පනින්නෙ නැතුව... මම උඹට විස්තරේ කියන්නම්...."
                        "කියපන්කො බලන්න උඹේ විස්තරේ මම අහගෙන ඉන්න"
                       "නැන්ද කැමති නැහැ බං සංකර විදිහට අදිනවට. මම එහෙම අඳින්නෙ නැති එකත් නැන්දලගෙ කැමැත්තට හේතුවක්. ඒකයි  මම මෙහෙම අඳින්න හිතුවෙ."
             "ඔයා ඔහොම හිතුවට මටනම් හිතෙන්නෙ ඕකෙ අනිත් පැත්ත. එපා වෙනව වෙනුවට තවත් කැමැත්ත වැඩි වෙයිද දන්නෙ නැහැ."
              "නැහැ...... අනිවාර්යෙන්ම මේ වැඩෙන් නැන්දට මාව එපා වෙනව. එතකොට ගිහාන් අයිය කොච්චර උඩ පැන්නත් වැඩක් වෙන්නෙ නැහැ."
                                "සුදු දෝණි..... මෙන්න නැන්දල ආවා....." 


                         අම්මගෙ කටහඬ පහත මාළයෙන් ඇසෙන්නට විය. මල්කිද කැටුව මා පහළට ගියෙමි. මා දුටු විගස සියල්ලන්ම පුදුමව මා දෙස බලා සිටින්නට විය. අම්මාගෙ මුහුණ දෙස මා නොබලා සිටින්නට උත්සාහ ගත්තාය. අප්පච්චි මුවට සිනහවක් නඟාගෙන මා දෙස බැලුවේය. නැන්දා සහ මාමා මා දෙස බලා මුහුණට මුහුණ බලාගත් අයුරින් මගේ උත්සහය සාර්ථක වූ බවක් පෙනුණි. ප්‍රසාදි නංගි නම් නිහඬව සිනාසෙන්නට විය. ගිහාන් අයියා දෙස මා බැලුවෙ නැත.

                        "මොකද මේ .............හැමෝම පුදුම වෙලා වගේ මගෙ දිහා බලන් ඉන්නෙ. ?"
                      "මොකද කියල අහන්නෙ දරුවො?...... ඔයා කවදාවත් ඔහොම ඇඳුම් ඇඳපු ළමයෙක් නෙමේනෙ..... ඉතිං අපිට පුදුමයි තමයි........ අනේ මන්ද අද කාලෙ ළමයින්ගෙ හැටි."  නැන්දා පවසද්දි
                        "අපි තේ ටිකක් බීල ඉමු නංගියෙ"


                           අම්මා මාතෘකාව වෙනස් කරන්නට මෙන් පැවසුවාය. තේ බීමෙන් පසු මල්කි එළියට ගිය හෙයින් මාද එළියට පැමිණියේ නිවස තුල පවත්වන කථා බහට මා අකමැති වූ හෙයිනි. ප්‍රසාදි නංගිද මා සමඟින් එළියට ආවාය.


                       "ඔයා අද හරි.....ම ලස්සනයි අක්කියො. අපේ අම්මලගෙ ඉතිං හණමිටි අදහස්නෙ. ඔයා ඕව ගණන් ගන්න එපා. "     පැවසූ ඇය මල්කි සමඟින් පේර ගස වෙත ගියාය. මගේ සිත මහා දුකකින් පිරෙද්දි එක්වරම මට මදූෂ සිහි විය. මුවට නොදැනිම සිනාවක් පැමිණියාය. එක්වරම මගෙ දෙනෙත් ගොරෝසු දෙ අතකින් වැසී ගියාය.
                    "කව්ද? .......අත අරින්න මගෙ ඇස් දෙක... "
                  "අත  අරින්න...? අත අරින්න නෙමේ.... මම ළඟදිම අල්ලගන්න බලං ඉන්නෙ. ඇත්තමයි දැන්නම් ..........මට මේ දැන් ඔයාව අරන් යන්න හිතෙනව බැඳලා. ඔයා අද හරි ලස්සනයි කෙල්ලෙ. මෙච්චර කල් ඔය ලස්සන කොහෙද හංගගෙන හිටියෙ?. මම කිස් එකක් දෙන්නද? කෝ මෙහෙට හැරෙන්නකො."


                      ගිහාන් අයියා කියවගෙන යන්නට විය. මා ඉක්මනින් ඔහුගෙ අත ගසා දමා මල්කි සහ ප්‍රසාදි නංගි හුන් තැනට පැමිණියෙමි. ගිහාන් අයියා මා දෙස බලා ඇසක් ඉඟි මැරුවේය. ඉන්පසු ඔහු අප සිටිනා තැනට පැමිණියහ.
                       
                         "සුවී මට පොඩ්ඩක් කතා කරන්න ඕන. මෙහෙ එනවා... "   මගේ අතින් ඇඳගෙන ඔහු ගෙවත්තේ ඇති ඔන්චිල්ලාව වෙත ගමන් කරන්නට විය.
                          "අනේ ගිහාන් අයියෙ මම එන්නම්.. මගෙ අත අතාරින්නකො...රිදෙනවා..."     මා පැවසුවද ඔහු එය ගනනකටවත් ගත් බවක් නොපෙනුණි. මා ගෙවත්තේ ඇති පුටුවක ඉන්දවූ ඔහු එහි ඇඳි දෙකට ඔහුගේ දෙ අත් තබා මා වෙත නැඹුරු විය.


                        "මෙන්න මේක...... තමුසෙ හොඳට අහගන්නවා සුවී... කවදහරි තමුසෙව බඳින්නෙ මම.ඒ නිසා .........මට ඔය ගෑස් පෙන්නන්න එන්න එපා. හැමදාම මෙහෙම වෙන්න බැහැ හරිද? මම දැන් ඉවසුව හොදටම ඇති. කමක් නැහැ මම තවත් ඉවසන්නම්.... මොකද කවදහරි තමුසෙව බැන්ඳම දැන් ඔය දෙන්නෙ නැති දේවල් එදාට මම තමුසෙගෙන් ගන්න නිසා...පරිස්සම් කරල තියාගන්නව.... අයි ලයික් ඉට්....."     යනුවෙන් පවසා මගේ මුහුණ මිරිකූ ඔහු සමච්චල් සහගත හිනාවකින් මුව සරසාගෙන මවෙතින් නික්ම ගියේය. 


                    සිතට මහා දුකක් දැනෙද්දි මා හිස් අහසට දෙනෙත් යොමු කර කල්පනා කළෙමි. මට මගේ ඉරණම වෙනස් කරන්න බැරි වෙයිද? මම ජීවත් වෙන්න ඕන මේ වගේ අමනුස්සයෙක් එක්කද? ගිහාන් අයිය මගේ ජීවිතේට මෙහෙම කරන්නෙ ඇයි? අපේ අම්මලත් මේව ගැන හිතන්නෙ නැති හැටි. 


                                                                               මතු සම්බන්ධයි

Friday, April 6, 2012


දෛවය

4
කෑම මේසෙට ඉඳගත්තද කන්නට පිරියක් නැත. ඒත් අම්මා ඉන්න නිසා අමාරුවෙන් හෝ බත් කටවල් දෙක තුනක් ඉක්මනට ගිල දැමුවෙමි. 
     
                                                        "ඔය කාලත් ඉවරද?"
                                       "ඇති අම්මා...අද බඩගිනි නැහැ එච්චර"
                                      "එහෙනම් අලිගැටපේර එකවත් කන්න"
                        "ආ.... ඒකනම් මම නොකා ඉන්නෙ නැහැ... මම මේක අරන් කාමරේට යනව අම්මා...මට ඉස්කෝලෙ වැඩ වගයකුත් තියෙනව කරන්න..."
   
  මා කවදත් ආසම කරන අලිගැටපේර බඳුනත් රැගෙන කාමරයට ආවෙමි. සුපුරුදු පරිදි ඇඳ ළඟ තිබෙන ගුවන් විදුලි යන්ත්‍රය ක්‍රියාත්මක කරවා ඇඳේ හාන්සි වී ලාච්චුව ඇර දිනපොත එලියට ගෙන දිගඇරියෙමි. නිකමට මෙන් මට එහි මෙසේ ලියා තබන්නට සිතුණි. මම එය ලියුවෙමි.
       "නුපුරුදු ඔබ දුටු පළමු දිනේ ....සුපුරුදු ලෙස දැනුණා...
***********************************************************************************
  පසුදින පාසැල නිමා වී මල්කි සමඟ බස් නැවතුම්පොළ වෙත එන්නට මා සිතා මතාම ප්‍රමාද වුණෙමි. 
  
  "මොකද සුවී මේ ඉක්මන් කරල යමං..නැත්නම් යන්න වෙන්නෙ ඊළඟ බස් එකේ තමයි..."
    " කමක් නැහැ අපි ඊළඟ එකේ යමු.....මට ඉක්මනට එන්න අමාරුයි...."
    "අනේ..... මේ.... උඹ කව්ද කියල මම දන්නව හොඳේ...කාවද ඔයා ඔය රවට්ටගන්න හදන්නෙ? ඔයා මොනව කරත් ඔයාගෙ හිතින් ඔයාට පැනල යන්න බැහැ හොඳේ...." 
    "උඹට පිස්සුද?... විකාර කියවන්නෙ නැතුව යමං..."
    "ඔව්..ඔව් මට තමයි විකාර..."
  
  කතාවෙන් කතාවෙන් බස් නැවතුම්පල වෙත එනවිට පළමු බසය නික්මෙන්නට සූදානම් වී තිබුණි.

   "සුචී... නඟිමුද මේකට?..."
    "පිස්සුද මල්කි? ... ඕකෙ එල්ලෙන්න ගියොත් යන්න වෙන්නෙ ගෙදර නෙමේ...ඉස්පිරිතාලෙට... ඊ ළඟ එකේ නිදහසේ ඉඳගෙන යමු අද.. අර පිස්සො ටික අර බස් එකේ යන්න ඇතිනේ..."
    "ආ..ආ..ආ....ඒකයි මෙයා මේ ගාටල තියෙන්නෙ එහෙනම්.... පව් බං... මොනව වුනත් මනූෂ අද උඹ එනකම් බලාගෙන ඉන්න ඇති ඇස් දෙක රිදෙනකම්..."
    "අනේ මේ... එයා මොකටද එහෙම බලන් ඉන්නෙ... එයා මගෙ කව්ද?.."
    "එයා උඹෙ කව්ද කියල උඹ මගෙන් අහන්නෙපා.... පස්සෙ දවසක මම ඔය ප්‍රශ්ණෙ උඹෙන් අහන්නම්....එදාට එයා අනිවාර්යෙන්ම උඹේ කවුරුමහරි වෙලා ඉන්නව...මම දැන් කිව්ව කියල මතක තියාගනින් සුචී..."
   
  ඇත්තටම ඒක එහෙම වෙයිද? නෑ නෑ මම මොනවද මේ හිතන්නෙ.. ගිහාන් අයියව එක්වරම මට මැවිල පේන්නට විය. එහෙම එකේ මම මල්කි කිව්ව දේ ගැන හිතල වැඩක් නැහැ කොහොමවත් 
  
  "සුචී... අන්න ඊ ළඟ බස් එක එනවා...නැවැත්තුව ගමන් මම නැඟල ෂීට් එකක් අල්ලගන්නම්... ඔයා එක්ක නඟින්න ගියොත් හිටගෙන තමයි යන්න වෙන්නෙ... ඔයා පස්සෙ හිමීට එන්න..."
    
 බස් රථය නැවැත්තුව වහාම මල්කි ඉක්මනට එයට නැඟගත්තාය. එච්චරම සෙනඟ ගොඩක් නැහැ මේකෙ යන්නනම් යැයි සිතමින් මාද බසයට ගොඩ වී මල්කි වාඩි වී සිටිනා තැනින් ඉඳගත්තෙමි. 
   
 "උඹ වරෙන් අයිනට... නැත්නම් අදත් වලියක් දා ගනියිද දන්නෙ නැහැනෙ මොනවටවත්"
  
  එයට මල්කිට සෙමින් පාරක් එල්ල කළ මා කව්ළුව සමීපයෙන් හිඳගත්තෙමි. ටික ටික බසයට සෙනඟ පිරෙන්නට විය. මොහොතකින් දුටු දෙයින් හදවත නතර වූ වැනි හැඟීමක් ඇති විය. නොදැනුවත්ම මා මල්කිගෙ අත මිරිකුවෙමි.
  
  "මොකද යකෝ ඒ පාර උඹ මගෙ අත කන්න හදන්නෙ?"
    "මල්කි... අරය නැඟ්ඟ බස් එකට.. අපිව දැක්ක බං"
    "කව්ද... උඹේ ඔය අරය?"
  
  තවත් කිසිවක් කීමට ඉඩක් නොමැති විය. අප අසලට ඔවුන් පැමුණ තිබුණි.
  
  "හලෝ... මල්කි... කොහොමද?"
    "ආ.... මම මේ බැලුව හොඳට හිටපු මගෙ යාළුවට එකපාරටම මොකද වුනේ කියල... එහෙනම් මේකයි මේ..."
  
  මම බිම බලාගත්වනම මල්කිගෙ කකුල තදින් පෑගුවෙමි. මේකිනම් මාව නැති කරනව. මොනව කියවනවද මන්දා. මල්කි ගානක්වත් නැති සේ සිනාසී නැවත ඔවුන් සමඟ කතාවය.
  
 "මනූෂ... ඔයාල ඇයි අද පරක්කුවෙලා... කලින් ගිය බස් එකේ යන්න වුනේ නැද්ද?"

  මගේ සිතේ තිබූ පැනය මල්කිගෙ කටින් පිට විය. එයට පිළිතුරු දුන්නෙ ඔහුගෙ මිතුරාය.
  
  "යස අගේට යන්න තිබුණා මල්කි.... කොහේද.. මේ අපේ මනූෂයා බෑ කිව්වනෙ යන්න...."
    "ඒ මොකද ඒ?"
    "මොකද කියනවනම් මල්කි.... මනූෂයගෙ හිත කව්ද ගෑණු දැරිවියක් අරගෙන ගිහින්...ඒ ළමයව බලන්නම ඕනලුනෙ...අනික අරන් ගිය හිත ඉල්ලගන්නත් ඕනනෙ.. නැත්නම් මූ ඊයෙ ඉදන් පිස්සු නටනව හිත නැතුව."

   ඔහුගෙ කතාවට මල්කිනම් සිනාසෙයි. ඒත් මගෙ හිතට එක්වරම අකුණක් වැදුනා මෙන් විය.
  
  "ඒ කියන්නෙ මනූෂට ගර්ල් කෙනෙක් ඉන්නවද?"
    "ඉන්නව කියන්නෙ"
  
 නොදැනුවත්වම මගෙ මුවින් සුසුමක් පිටවිය. බලාපොරොත්තුවක් බිඳී ගියා සේ දැනෙන්නට වූයේ ඇයිදැයි මටම සිතා ගන්නට නොහැකි විය.
   
  "පැතුම්ට පිස්සු මල්කි"
     "ඇයි මනූෂ ...පැතුම් කිව්වෙ බොරුවක්ද?"
     "මෙහෙමයි මගෙ හිතනම් අරගෙන ගියා කෙනෙක්...ඒත් එයා මට කැමතිද කියල මම තාම දන්නෙ නැහැ.. අද ඒක දැනගන්න පුළුවන් වුනොත් ලොකු දෙයක් මල්කි...."
   
  මේ මොනාද මේ වෙන්නෙ මෙයාලට කතා කරන්න වෙන දෙයක් නැද්ද ඇත්තටම එයාල ඒ ගැන කතා කරද්දි ඇයි මට මේ තරම් දුකක් හිතට දැනෙන්නෙ. එක අතකට මට මොකෝ මනූෂ මගෙ කවුරුත් නෙමෙයිනෙ. එයාට එක කෙල්ලෙක් බැරිනම් කීයක් හිටියත් මට මොකද? එසේ සිතූවත් කියාගත නොහැකි දුකකින් මා තැවුනෙමි.
  
   "මල්කි.. පොඩ්ඩක් ඔතනින් වාඩිවෙන්න දෙනවද අපේ මේ මනූෂයට උගෙ කකුලක් ඇවිලිලා එක පාරටම..."
   පැතුම් කියද්දි මට එක්වරම මල්කි දෙස බැලිණි.
     "අපෝ... ඕක මොකක්ද පැතුම්... කෝ එන්න මනූෂ..ඉඳගන්න.." 
   
 මනූෂ ඉඳගත් සැනින් මා නැගිට්ටෙමි. එක්වරම මනූෂ මගේ අතින් අල්ලා මා නැවත අසුන මත ඉන්දවීය. නොසිතූ මොහොතක සිදුවූ දෙයින් මා බිරාන්ත වුණෙමි.
   
 "ප්ලීස්... නැගිටල යන්න නම් එපා... මම ඉන්නවට මෙතන ඔයා අකමැතිනම් මම නැගිටින්නම් ආපහු.."

   මදූෂ පවසද්දි මා කුමක් කරන්නද කුමක් කියන්නද කියා සිතා ගන්නට නොහැකිව බිම බලාගත්වනම සිටියෙමි.
  
  "මාත් එක්ක තරහද?"


 මම හිස වනා නැහැ යනුවෙන් පැවසුවෙමි.
  
  " එහෙනම් ඇයි මාත් එක්ක කතා කරන්නෙ නැත්තෙ?... අඩු ගානෙ බනින්න හරි...මගෙ මූණ බලන්න තරම් ලස්සන නැති නිසාද?"


  ඔහු දිගටම කියවාගෙන යයි. මා හිස ඔසවා මල්කි කොහේදැයි බැලුවෙමි. ඇය මා පත් වී සිටිනා අසීරුතාවය ගැනවත් නොසිතා පැතුම් එක්ක කතාවට වැටි ඇත. අනේ මම මොනාද දැන් කියන්නෙ?...
   
 "ඔයාට මාව කරදරයක්ද නෙත්මි.." 

ඒ පැනයෙන් මා තිගැස්සුණෙමි. මන්දයත් මට මෙතුවක් කලකට "නෙත්මි" කියා කිසිවෙක් ආමන්ත්‍රණය කර නොමැති හෙයින් හා ඔහු එය උච්චාරනය කල අයුරටය. මට ඉබේම ඔහු දෙස බැලුණෙමි. මා ඇසෙන නොඇසෙන ගානට "නැහැ" යනුවෙන් පැවසීමි. 

   "අම්මෝ... ඇති යාන්තම් කතා කරා ඔයා... මම බයේ හිටියෙ ඔයා මාත් එක්ක කතා කරන එකක් නැහැ කියල.." 

   බසය පිටත් වීමට සැරසේ. මේක මීට කලින් ගියානම් හරි එහෙනම් දැන් මම ගෙදර. අනේ මෙයා තව මොනව කියයිද දන්නෙ නෑ. මා සිටියෙ දෙගිඩියාවෙනි.
   
  "නෙත්මි... මට ඔයාට දෙයක් කියන්න තියෙනවා...."
     "ඇයි මට?..ඔයාගෙ හිත අරන් ගිය කෙනා අද ඇවිල්ල නැද්ද?
     "ඔහෝ.... ඒකද ඔයා මේ ඔරොප්පු වෙලා ඉන්නෙ?"
     "අනේ .. මම මොකටද කොහෙවත් ඉන්න අය එක්ක ඔරොප්පු වෙන්නෙ?"
     "ඔයා කැමති නැද්ද කොහෙවත් ඉන්න අය තමන්ගෙ අය කරගන්න?"
  
 ඔහු ඇසූ දෙයින් මා නිහඬ විය. දෙයියනේ මේ මොකක්ද මේ වෙන්න යන්නෙ. දැක්කෙත් ඊයෙ. මගෙ කකුල් දෙකත් එක්ක පණ නැහැ වගේ.
  
  "ප්ලීස්.. නෙත්මි.. ඔයා අකමැතිනම් මට කියන්න... මම තරහ නැහැ...ඒත් මාත් එක්ක කතා නොකරනම් ඉන්න එපා බබා..."
    
 මා දිගටම ගොළුවත  රැක්කෙමි. මල්කි පැමිණ ඊ ළඟ නැවතුමෙන් බසින්නට සූදානම් වන්න යයි කියනාතෙක්ම මා හිස එසවූවේ නැත. 
    
 "ඕකේ බබා...ඔයා එහෙනම් පරිස්සමට ගිහින් එන්න.... මම හෙටත් ඔයා එනකම් බලන් ඉන්නව.. හැබැයි මගේ ප්‍රශ්ණෙට උත්තරයක් එක්ක...."
    
 මදූෂ පවසද්දි මා ඔහු දෙස යන්තම් බැලුවෙමි. දෙදෙනාගෙම ඇස් එකිනෙක ගැටුණේය. 
   
  "මගේ හිත පරිස්සම් කරල තියාගන්න හොඳේ..." 


  ඔහු පවසද්දි මල්කි සමඟින් මා බසයෙන් බැස ගත්තාය. එදා මෙන් පැතුම් හා මදූෂ අපට අත වැනීය. මල්කි පෙරලා ඔවුන්ත අත වනා මා දෙසට හැරී සිනාසෙන්නත විය.
   
"එන්න එපා හිනවෙන්න... මාව තනියම දාල ගියා... අඩු ගානෙ මට මොකද කියලවත් බැලුවද?"

  මා අමනාපය මුසු හඬින් පවසද්දි මල්කි දිගටම සිනා සෙන්නට විය.


   "මොනා වෙන්නද? මම දැක්කා දෙන්නගෙ ආලවන්තකම... ඒකත් ජයසිරි මංගලම් කිව්වලු... මොකද මිනිහ කියන්නෙ.. කැන්දන් යන්නම් රන් මල් මාලා දාලා .. කිව්වද?"
    "අනේ මන්ද මල්කි.... උඹ හවස අපේ ගෙදර වරෙන් මම විස්තරේ කියන්නම්..."

 
 






















































Sunday, March 18, 2012


                                                         දෛවය





        3


   මතක ඇති කාලයක මා බසයේ ගමන් කර තිබුනේ නැත. එනිසාම මට මෙය තරමක අපහසුවක් ගෙන දෙන්නක් විය. නමුත් ගිහාන් අයියගෙන් මිදී නිදහසේ නිවසට යාමට වෙනත් මාර්ගයක් නැත. අපහසුවෙන් හෝ මෙයට හුරු වෙන බව මා සිතාගත්තෙමි. 
               
                 "ඒයි, මොනවද කල්පනා කරන්නෙ?.... මොකද?..... දුකද උඹේ ගිහාන් කුමාරය ගැන?....
                    "අනේ මේ..... මට ඇති දුකක් නැහැ බං..... මට මේ ගමන ටිකක් හුරු වෙන්න වෙයි. මම හිතුවෙ ඒ ගැන."
                   " ටික දවසකින් මේකට උඹ හුරු වෙයි සුවී.....එතකොට තේරේවි මේ ගමන පයින් යන එක තරම් අමාරු නැහැ කියල....."
                   "හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්.......මමත් හිතුව ඒක"


                   බසයේ මුළුමනින්ම පාසල් ළමුන්ගෙන් පිරී ගොසිනි. එක් තැනක හිනා හඬ, තවත් තැනකින් සිංදුවක් හා එයට සරිලන පරිදි කෙරෙන විසිල් ගැසීමකි. මේ ගමනත් නරකම නැහැ. අමුතුම ලෝකයක් වගේ. ධර්මාශෝක සහ දේවානන්ද යන පාසල් දෙකේම පිරිමි ළමුන් ඉමහත් දඟකාරකම් කරමින් බසයම දෙවනත් කරන්නට විය. මට මෙය  ටිකක් නුහුරු අත්දැකීමකි. මන්ද යත් අප පාසල බාලිකාවක් බැවිනි. මා සිටියේ පිටුපස සීට් පේළියට පේළි දෙකක් ඉදිරියෙන් ඇති සීට් එකේ ජනේලෙ අයිනට වන්නට ඉදගෙනය. එකපාරටම මාගේ උකුලට පොත් දුසිම් දෙක තුනක් පමණ පිරෙන්නට වූයේ මට සිතා ගන්නටවත් නොහැකි අන්දමිනි. මා මල්කි දෙස බැලීමි. ඇයටත් එයම වී ඇත. එහෙත් මල්කි සිනාසෙමින් ගානක් නොමැති ලෙස හිඳී. මා එකවර හිස ඔසවා බැලුවෙමි. අපේ සීට් එක ළඟින්ම පිරිමි ළමයින් දෙතුන් දෙනෙකු කිසිදු ගානක් නොමැති අයුරින් සිනාසෙමින් ලොකු කතාවකට වැටී ඇත. මගේ කේන්තියේ සීමාව ඉක්මවා යන්නට විය. මා පොත් ටික අසුන මත තබා නැඟිට්ටෙමි. මල්කි මට වාඩිවන ලෙස ඇස් වලින් සංඥා කරන්නට විය. මා එය ගණනකට නොගෙන සිටගත්තෙ අප අසල සිටි පරිමි ළමුන් දෙසට මාගේ කෝපය පළ කරමිනි.
   
                  "ආ... ඇයි නංගි..? මුකුත් ප්‍රශ්ණයක්ද?"


එතන සිටි කටකාර සිසුවෙක් මගෙන් විමසුවේ මට නෝන්ඩියට හිනා වෙමිනි. එයින් මගේ ඉවසීම මා අතැර යන්නට විමි.
                  
                     "ඔව්, ඇයි ඔයා ප්‍රශ්ණෙ විසඳන්නද? 
                 "ඒයි,.... මේ බලාපල්ලා අපේ බස් එකට අද ඇවිල්ලා අපිටම මෙයා පාට් දාන හැටි. මේ නංගී......... ඕව තියාගන්න එපා හරිද? අපි හොඳට හොඳයි.. නරක් වුනොත් ඉතින් අපි තරම් නරක අය තව නැති වෙයි හොඳේ.... 
             
                දබරැඟිල්ල මා වෙත දිගු කරමින් තවත් සිසුවෙක් පැවසීය. මා ඇත්තටම එයින් බිය වුණි. මගේ ඇස් කඳුළින් පිරෙන්නට ගත වූයේ නිමේෂයකි. 
  
                   "හා...හා.... පැත්තකට වෙයල්ලා... මොකක්ද බං උඹල මේ කරන්නෙ? ඒ ළමයට එයාගෙ පාඩුවෙ යන්න දීපං"
                   
                      මඳක් එහායින් සිටි සිසුවෙක් අප සිටින තැනට පැමිණෙමින් පැවසීය. මා ඔහු කවුරුන්දැයි බලන්නටවත් හිස එසවූයේ නැත. මල්කිද පොත් ටික පසෙකින් තබා නැඟිට මා අසලින් හිටගත්තාය. 
              
                       "  සුවී.... මේ... දැන් ඔය කඳුළු පිහිදගනින්...... බස් එක යන්න හදන්නෙ..... අපි විනාඩි 15න් ගෙදර. උඹ ඔහොම ගෙදර ගියොත් ඉතින් උඹට ආයෙත්නම් බස් එකේ යන්න ලැබෙනව බොරු."


                      ඇය කියූ දෙයින් මා පියවි තත්වයට ආවෙමි. අපෝ.. ඒකනම් වෙන්න දෙන්න බැහැ යටි සිතට මිමිණූ මා ඇය දෙස බැලීමි. ඇය සිනාසෙමින් මුව වසාගත්තාය. 
                           
                                                      "  ඇයි?  "


                මා ඇයගෙන් විමසූ විට ඇය ඇස් කොනින් මට අප අසලට ආ මාගේ ගැලවුම්කරුවා පෙන්වන්නට විය. මා තරමක් හිස හරවා බැලූ නොබැලූ තරමට ඔහු දෙස බැලීමි. ඔහු සිනා සී මදෙස බලාගත්වනම සිට ඇත. මා ඉමහත් ලැජ්ජාවකට පත් වුණෙමි. ඒ මා ඔහු දෙස බලනව ඔහු දුටු හෙයිනි. මල්කිත් කරන්නෙ කරොත් ඔහොම වැඩක් තමයි. බසය ගමනාරම්භය කරන්නට විය. 
  
                                         "බය වුණා නේද ඔයා ? 
                   
                       ඔහු සිනහවක් සමඟින් ඇසුවේය. මා හිස සලා පමණක් ඔව් යැයි පැවසුවෙමි.
                  
                          "මොකද? මාත් එක්ක කතා කරන්නත් බයද? බය වෙන්න එපා. උන් එහෙම කතා කරාට නරක  නැහැ. ඔයාට විතරක් නෙමේ මේ බස් එකට අළුතින් එන ඕනම කෙනෙකුට ඔය රැග් එක උන් දෙනව. වැඩේ උනේ ඔයා ටිකක් මුරණ්ඩු වුන නිසා තමයි උන් ඔයාට එහෙම කතා කරේ. ගණන් ගන්න එපා ඒක එච්චර"
    
                   මා බිම බලගත්වනම ඔහුගේ කියවීමට සවන් දුන්නෙමි. මෙයානම් කියයි මම බයවුන හැටි දන්නෙ මමනෙ. 
   
                  "කෝ?...මම විතරනෙ කතා කරන්නෙ. කෝ අර පණ්ඩිත කට?
                                
                                 ඔහු විමසූ අයුරට මට සිනා පහළ විය. 
  
                         "අපෝ ...ඇති යන්තම් හිනාවත් වුනා. මේ ඔයාගෙ යාළුවට මොකද වුනේ  ඔහු මල්කිගෙන් ඇසුවේය. 
                   "එයා ටිකක් බය වෙලා ...ඒකයි.. නැත්නම් ඔයාට කනක් ඇහිල ඉන්න වෙන්නෙ නැහැ මෙය කියවන්න පටන් ගත්තනම්.


                          මල්කිටත් කට පියාගෙන ඉන්න බැරි හැටි. හරියට දන්න කෙනෙක් එක්ක වගේ කතා කරන්නෙ. මා වැලමිටෙන් ඇයට හිමින් ඇන්නෙමි. 
    
                             "ඌයි..."ඇයගෙ සද්දෙට මා මෙන්ම ඔහුද තිගැස්සුණේය.
                     "මොකද? ඔයාව මොකෙක් හරි කෑවද? ඔහු මල්කිගෙන් විමසුවේය.
                    "සතෙක් කෑවනම් කමක් නැහැ. මේ වැලිමිටි පාරවල් තමයි ඉවසන්න බැරි"
                 
මල්කි කී දෙයට ඔහු මහ හඬින් සිනාසෙන්නට විය. ළමුන් කීපදෙනෙක් අප දෙස බලනවා මා දුටුවෙමි.
                                        
                                                  "මල්කී....."


                මා මල්කි දෙස බලා අමනාපය මුසු හඬින් ඇය ඇමතීමි. ඇයටනම් කට පියාගෙන සිටින්නට බැරි හැටියක්.
                  
                          "මෙයාගෙ නම මල්කිද? මෙච්චර වෙලා කතා කරාට නම ගම දැනගන්න බැරි වුනානෙ ඇත්තටම. මම මනූෂ.....මනූෂ ප්‍රභාත් වික්‍රමසිංහ...ඔයාගෙ නම ......


                      ඔහු මදෙසට හැරෙමින් විමසුවේය. මා නම කියන්නට ප්‍රථමයෙන් මල්කි හඬ අවදි කළාය.

                     "මෙයාගෙ නම සුවිනි නෙත්මිණි රණසිංහ.... අපිනම් කියන්නෙ සුවී කියල... ඔබ.. කැමති විදිහෙ නමකින් ආමන්ත්‍රණය කරාට අපේ කිසිම අමනාපයක් නැත.

                        මල්කිටනම් ඇත්තටම පිස්සුද මන්දා. ඔහේ කියවනව. බස් එකෙන් බැහැපුදෙන්කො මම එයාව අල්ලගන්න.


                          "ෂා... සුවිනි නෙත්මිණි.....ලස්සන නමක්නෙ ඔයාට තියෙන්නෙ. මම ඔයාට නෙත්මි කියල කතා කරාට කමක් නැද්ද? "
                          "කමක් නැහැ"
                       "ඔයා අකමැතිනම් මමත් සුවී කියලම කතා කරන්නම්. ඒත්.... නෙත්මිණි කියන නම තමයි ඔයාට ගැලපෙන්නෙ. ඒකට හේතුව මම අනිත් දවසෙ කියන්නම්.
  
                           ඒ කියන්නෙ අනිත් දවසෙත් මෙයා කතාවට එන්නයි හදන්නෙ. බලමුකො අනිත් දවසෙ එයා කතා කරන හැටි. මා කිසිත් නොකියා යන්තම් සිනාසුණෙමි.


                     "මේ...මනූෂ..ඔන්න අපි ඊළඟ නැවතුම ආවම බැහැල යනව ගෙදර බලා.....බෙල් එක ගහනවද බස් එකෙ පිං සලකා.......නොහැකි වුණත් අහිතක් නැහැ අපි යනවා...."


                              මල්කි  ගීතයක තාලෙට පැවසමින් මනූෂට බෙල් එක පෙන්නුවාය. 


                   "අපෝ ඕක සුළු දෙයක්නෙ... මනුෂත් බල බලා උන්නෙ... හෙල්ප් එකක් දෙන්නෙ ඔයාලට කොයි වෙලේද කියලා......"


                                                 මෙතෙක් වෙලා නිහඬව සිටි මනූෂගෙ යාළුවෙක් ද ගීතයක තාලෙට පැවසුවේය.
   මනූෂ සිනාසී බසයේ සීනුව නාද කළේය. 


                                          "අපි යනව මනූෂ..ආයෙත් හම්බවෙමු.."


                 මල්කි මනූෂට හා ඔහුගේ මිතුරාට අත වනා පැවසුවාය. මා සිටියෙ ජනේලෙ අයිනට වන්නට හෙයින් මා පැමිණියෙ මල්කිට පසුවෙනි. එක්වරම මනූෂ ඉදිරිපස තිබූ අසුනෙ ආධාරකය මත අත තබා මට එළියට ඒමට නොහැකි ලෙස මා හරස් කළේය. මට ඉබේටම ඔහු දෙස බැලුනි. ඔහු සිනා සී "හෙටත් එන්න" යයි පවසා මට යන්නට ඉඩ දුන්නේය. මා කිසිවක් නොකියා බසයෙන් බැස ගතිමි. ඔහු අත වනනවා මා දුටුවෙමි. මල්කිද පෙරළා ඔහුට අත වැනුවාය.  
  


                                                                             මතු සම්බන්ධයි

Thursday, March 1, 2012



                               දෛවය

        
         2


ඇඳ විට්ටමට කොට්ටයක් තබා මා එහි හාන්සි විය. ඇඳ අසල තිබෙන කබඩය උඩ තබා ඇති මාගේ පුංචි කැසට් යන්ත්‍රය වෙත මගේ අතැඟිලි දිව යන්නේ නිරයාසයෙනි. මා එහි ස්විචය කරකවා එය ක්‍රියා කෙරුවෙමි. එය මා සෑම දිනක්ම කරන සුපුරුදු අංගයකි. එය තුලින් මා බෙහෙවින් ප්‍රිය කරන ගීතයක් ගලා ඒ. මාගේ සිතට සහනයක් දැනෙන්නට විය. දෑස තදින් පියාගෙන ගීතයට සවන් විවර කළ විට සිතේ තිබෙන සියලුම දොම්නස් ගති පහව යන සෙයක් මට දැනේ. " දුවේ නුඹ මගෙ ප්‍රාණයයි... සැබෑ වුව සුබ සිහිනයයි.....සෙනෙහසින් කුළ ගෙට පිය නඟන්නේ....... සනුහරේ අභිමානයයි..." සුනිල් එදිරිසිංහ ගායකයානන්ගෙ ගැයුම මා අසා සිටින්නෙ දැහැනකටැ සම වැදී ය.

ඇඳ උඩට ඉතා තදින් යමක් වැටුණා සේ දැනීමෙන් මා එකවර එම දැහැනින් මිදුණෙමි. ගිහාන් අයියා..


                  "මොනා ද ගිහාන් අයියා... ඔයාට මැනර්ස් කියල දෙයක් නැද්ද ආ....?"
                                              "ඇයි සුවී? ....මොකක්ද අවුල ?"
            "කෙල්ලෙක්ගෙ කාමරයට ඔහොම එකපාරටම එන සිරිතක් නැහැ කියල ඔයා දන්නෙ නැද්ද?"
මා තරහෙන් ඉවත බලාගෙන පැවසුවෙමි. 


                "අයියෝ.. බබා එහෙම වෙන්න ඕන තැන් තියෙනව. ඒත් මෙහෙ මම එහෙම වෙන්න ඔනෙ නැහැනෙ. මොකද ....මේ ගේ මට මගෙම ගෙදර වගේනෙ....... මේ ඔන්න මම අම්මගෙන් අවසර ගත්ත ඔයාව හෙට පාටියකට එක්ක යන්න. නෑ... බෑ ....කියන්නෙ නැතුව රෙඩි වෙලා ඉන්න හොඳේ....." 
                             "අනේ ගිහාන් අයියා... මට හෙට වැඩ වගයක් තියෙනවනෙ." 
                        "ඒව හරියන්නෙ නෑ..... ඒ වැඩේ වෙන දවසකට දාගන්න. ඕකේ. .....මම හරියටම හවස 7 වෙනකොට ඔයාව ගන්න එනව. ඔයා රෙඩි වෙලා ඉන්න... එච්චරයි. ඔන්න එහෙනම් මම ගියා. බායි..."
ගිහාන් අයියා කාමරයෙන් ගිය පසු මා මව සොයා දිව ගියෙමි.
                                                                       
                                         "අම්මා..".


මාගේ ඇමතීමෙන් ඇය කියවින් සිටි පුවත්පත පසෙකින් තබා මා දෙස නෙත් හෙලීය.


                             "මොනා ද අම්මා මේ කරන වැඩ..? ඇයි අම්ම ගිහාන් අයියට මාව පාටි එකට එක්ක යන්න හා කිව්වෙ?"     ඇයගේ ඉදිරිපසින් බිම හිඳගත් මා විමසුවෙමි.
                             "ඉතිං මොකක්ද ඒකෙ ඇති වැරැද්ද? එයා පිට ළමයෙක් නෙමේ...... අනික... හැමදාම ඔයාව එයා එක්ක යන්න අහන්නෙ නැහැනෙ ළමයො."
                                     "අනේ අම්මා ..මම ආස නැහැ යන්න."
මම පුටුවේ වාඩි වී සිටි මවගේ දෙදණ මත මගේ හිස තියා ගතිමි. ඇය සෙමින් මගේ හිස පිරිමදිමින් හඬ අවදි කළාය.
                           "සුදු දෝණි.. මේ අහන්න. දැං ඔයා පොඩි බබෙක් නෙමේ. ගිහාන් කියන්නෙ කවදහරි ඔයා මැරි කරන්න ඉන්න කෙනා. ඔයා ඉගෙන ගෙන ඉවර වෙනකම් අපි ඉන්නෙ ඒ වැඩ පිළිවෙලක් කරන්න. ඔයා ඒ නිසා ඒ ළමයගෙ හිත රිද්දන්නෙ නැතුව ඔය ගමන ගිහිං එන්නකො." 
මේ ගැන කතා කරන්න හොඳම වෙලාව මේක තමයි. අම්මම මාතෘකාවට ආපු එක හොඳයි එක අතකට. 
                           "අම්මා.." 
                                   "ම්ම්ම්ම්ම්...."
                                "මම අම්මට කියන්නමයි හිටියෙ...... අනේ අම්ම ගිහාන් අයියව මම ස්කූල් ගිහින් එද්දි මගෙ පස්සෙන් එවන එක නවත්තන්න කියන්න අප්පච්චිට...... මම ආරක්ෂා වෙන්න මම දන්නව. එයා එන එකෙන් වෙන්නෙ මම ලැජ්ජා වෙන එක විතරයි..... ප්ලීස් අම්මා.."
                                "අනේ බබා....... ඔයා දන්නවනේ.... ඔයා පයින් යනවට අප්පච්චි කැමති නැහැ කියලා. ඒත් ......මම කැමැත්ත අරන් දුන්නෙ බොහොම අමාරුවෙන්. ඔයාට යන්නම ඕන කිව්ව නිසා...... ගිහාන් අයියව යවන්නම් කියල පොරොන්දු කරගෙන ඔයාගෙ ආරක්ෂාවට. ඒක නතර කරන්න ගියොත් අප්පච්චි කියයි ඔයාට පයින් යන එක නතර කරන්න කියල. ඔයා ඒකට කැමතිනම්..... මම ගිහාන් අයියා එන එක නවත්තන්නම්."


මදැයි මමත් දෙයක් කිව්වා. දැන්නම් ඉතිං ඒ වැඩේ හරියන්නෙ නැති බව මට සක්සුදක්සේ පැහැදිලියි. හිතුනොත් මම බස් එකේ යන්න පටන් ගන්නවා. එතැනින් නැගිට මිදුලේ ඇති ඔන්චිල්ලාව වෙත ඇදුණු මා ගිහාන් අයියා ගැන සිතන්නට පටන් ගතිමි. ගිහාන් අයියා උසස් පෙළින් පසු ඉගෙනුම අත හැර ව්‍යාපාරයක් කරගෙන යයි. ඔහු නගර කීපයකම පොත් සාප්පු පවත්වාගෙන යයි. එයට බෙහෙවින් කැමති වූයේ අප්පච්චිය. මොකද අප්පච්චිගෙ ව්‍යාපාර වලටද ඔහු හවුල් කරගත හැකි නිසාය. ඒත් ගිහාන් අයිය වැඩි හරියක් කරන්නෙ යාළුවන් සමඟ විනෝද විමය. මිල මුදල් අතින් අඩුවක් නොවූ හෙයින් ඔහුට කිසිම දෙයක වගක් නොවීය. අනේ මංද අප්පච්චිලා මට ගිහාන් අයියව ප්‍රපෝස් කරාට මගෙ හිතේ එයාට වැඩි කැමැත්තක් නැහැ. මේ ගැන හෙට මල්කි එක්ක කතා කරන්න ඕන. ඒකිගෙන්වත් බලමු මේකට සහනයක් ලැබෙන විදිහෙ උත්තරයක් හම්බවෙයිද කියලා. කල්පනා සාගරයෙ කිමිදී සිටි හෙයින් අප්පච්චිගෙ වාහනේ ගේට්ටුවෙන් ඇතුළු වෙනකම් මට වගක් නොවූ හැටි. පෝටිකෝව යට කාරය නවත්වා අප්පච්චි සිනා මුසු මුහුණෙන් යුතුව මා දෙසට ආවේය. 


                        "මොකද මගෙ කෙලි පැටික්කි අද මෙතනට වෙලා... මම එනකම්ද? ම්ම්ම්ම්..."


මා නැඟිට අප්පච්චිගෙ බඳ වටා මගෙ අතක් යවා අනික් අතින් මගෙ කරමත තිබූ අප්පච්චිගෙ අත අල්ලාගෙන ඔහුට තුරුළු වුණෙමි. මගේ හිස සිපගත් ඔහු 


                      "අපි ගෙට යමු සුදු දෝණි මට අදනම් හරිම මහන්සියි" පැවසීය. අප ගෙට ඇතුළු වනවිට සිනාමුසු මුහුණින් ආලින්දයට ආ අම්මා
                        " ආ.. මම මේ බලාගෙන හිටියෙ කාර් එක නවත්තල කොහෙද ගියෙ කියල...මේ නාකි ළමිස්සි හුරතල් කරන්නනෙ ගිහින් තියෙන්න" යැයි පැවසීය.
                         "අනේ ඉතිං මම මෙයාව හුරතල් කරන්නෙ නැතුව වෙන කාව හුරතල් කරන්නද නෝනා.. මගේ එකම කෙල්ලනෙ මේ...ඔයයි දුවයි තමයි මගෙ එකම සතුට සැනසීම. ම්ම්ම්..ඒක නෙමේ නෝනා ගිහාන් පුතා ආවෙ නැද්ද අද මේ පැත්තෙ?"
                             "අපෝ මොකද නැත්තෙ මහත්තයා ඇවිල්ල දවල්ට කාල වැඩ වගයකට යන්න ඕන කියල ගියා.
                                "ම්ම්ම්ම් මිනිහා මොනා නැතත් බාරගත්ත වැඩේ හරියට කරනව." එසේ කියා අප්පච්චි පුටුවට බර විය. මමද ඔහු අසලින්ම හිඳ ගත්තෙමි.
                              "ඔයා මොනාහරි බොනවද?........ නැත්නම් වොෂ් එකක් අරගෙන කෑම කනවද මහත්තය? "අම්මා අසයි.
                           " කූල් ඩ්‍රින්ක් එකක් බීල ඉමු නෝනෙ" 
අම්මා  අප්පච්චිට බීම වීදුරුවක් ගෙනෙන්නට ගිය පසු මා අප්පච්චි සමඟ කතාවට වැටුණෙමි. 
                          "අප්පච්චි .....ගිහාන් අයිය මට හෙට පාටි එකකට යන්න කතා කරනව. මම වැඩිය ආස නෑ අප්පච්චි යන්න. අනේ අප්පච්චි කියනවද ගිහාන් අයියට මාව එක්ක යන්න එපා කියල. එයා අම්මගෙන් අහල අම්ම කියල කමක් නැහැ කියල."
                                                    " ඇයි දැන් ඔයා යන්න අකමැති ?"
                                  "මට වැඩ වගයක් තියෙනව අප්පච්චි. අනික..... මම අදුනන්නෙත් නැහැ එයාගෙ යාළුවො වැඩිය. මම පස්සෙ දවසක යන්නම් අප්පච්චි..... මගෙ හොඳ අප්පච්චිනෙ...... කියනව නේද?" මා පින්සෙන්ඬු විය. මුවට මඳ සිනහවක් නඟාගත් අප්පච්චි හිස සැලීය. 
                                   "උම්ම්ම්මා.. මගේ හොඳ...... අප්පච්චි "යි පවසමින් මා ඔහුගේ මුහුණ සිප ගත්තෙමි.
                           "ආ..ආ.. මොකද මේ...අද මොකකටද අප්පච්චිව රවටගත්තෙ" යි අසමින් අම්මා බීම වීදුරුවද රැගෙන අප වෙතට ආවාය.
                                 "මේ... ගිහාන් පුතා පාටි එකකට යන්න කතා කරා කියන්නෙ. මෙයාට යන්න බැහැලු. මට කියන්නලු ඒක."
                               "මම කමක් නැහැ කිව්වනෙ මහත්තයා..... ඒ ළමය බලයි දැන් බෑ කියන්නෙ ඇයි කියල"
                               "කමක් නැහැ මෙයා අකමැතිනම් ඔන්න ඔහෙ හිටපුදෙන් නෝනෙ ...... මම ගිහාන්ට කියන්නම්කො."


අම්මා හිස සලා එය අනුමත කළාය.  ඔවුන්ට කතා කරන්න ඉඩ දී මා කාමරයට ආවෙමි. අප්පච්චි සහ අම්මා කවදාවත් තීරණයකදි ගැටුණේ නැත. කිසිම විටෙක ඔවුන් බහින් බස් වනවා මා අසා නැත. අප්පච්චි සහ අම්මා අතර හොඳ තේරුම් ගැනීමක් තිබුණි. අප නිවස එනිසාම සුන්දර නිවහනක් විය. මා නිතරම පැතුවේ අප්පච්චි වගේ ගතිගුණ තියෙන පිරිමියෙක් මගෙ ජීවිතේටත් ලැබෙන්න කියාය.            


                                                                  මතු සම්බන්ධයි  ,,,,,,,,,,,,,,,,       

Monday, February 27, 2012

දෛවය


                           දෛවය

                                  1




                               

                                                     "යෝ වද තං පව ........" ගාථාව මුළු පාසැල් බිම පුරා විසිරී යයි. තව ටික වෙලාවකින් පාසැල නිමා වී යන සියලුම ළමයි අතරට මා ද එකතු වෙයි. පාසලේ සිට ගෙදරට පයින් යන්නට පැය භාගයක් පමණ ගතවේ. අම්බලන්ගොඩ නගරයේ ඩිපෝ එකට ගොස් එතනින් බසයක නැඟී හෝල්ට් 3ක් පසු කර විට නිවස අසලින්ම බසින්නටහැක. නැත්නම් නිවසේ තිබෙන වාහනෙන් එන්නට බැරි කමක්ද නැත. ඒත්, ඒ දෙකටම වඩා නිදහසේ පයින් ගමන් කිරීමට මා නිබඳවම ප්‍රිය කළා ය. 
මා ගියේ අම්බලන්ගොඩ නගරයේ ඇති ප්‍රධාන පාසැලක් වන ප්‍රජාපතී බාලිකාවටය. උදයේ මෙන් ම දහවලද මා පාසැලට ගියේ ද ආවේ ද පයින් ය. ඒ මාගේ හොඳම යෙහෙළිය වූ මල්කි සමඟිනි. 


          " ඒයි සුවී..... අන්න අර බලපං...."
           "   කෝ.... මොකක්ද?"
    " අර... අදත් උඹේ ආරක්ෂක භටයා ඇවිල්ලා..."


මල්කි ඇසක් ඉඟි මරා මට පවසන්නෙ සිනාවකින් ය. අපේ අප්පච්චිට පිස්සු මගෙ ආරක්ෂාවට එක එක්කෙනා එවන්නෙ.  මම හිත යටින් සිතිමි.

         "ඔන්න ඔහෙ හිටපු දෙන් බං... ඕක ඉතිං හැමදාම වෙන දෙයක්නෙ. ඇත්තමයි මල්කි.. වෙලාවකට මේ වැඩේ මට මහ වදයක් 
             "උඹට තියෙන ආදරේටනෙ සුවී අප්පච්චි එහෙම කරන්නෙ. මොකද...... උඹනෙ එයාගෙ එකම සම්පත." 
              "ඒක තමයි බං. අපරාදෙ..... මට තව කවුරුහරි සහොදරයෙක් හරි සහොදරියක් හරි හිටියනම් කියල හිතෙන්නෙ මේ වෙලාවට තමයි. එහෙනම් ඉතිං මාව මේ තරම් ආරක්ෂා කරන එකක් නැහැ. ටිකක් නිදහසේ ඉන්න තිබුණා."  
                                   
මා පැවසුවේ මුවට මඳ සිනහවක් ආරූඩ කරගනිමින . දැන් ඉතින් දඬුමොණරෙ නැඟල එයි මගෙ පස්සෙන්. හිතනකොටම ඔය එන්නෙ. අදින ඇඳුම් වල හැටි. හිතන් ඉන්නෙ මයිකල් ජැක්සන් කියල. මොන එකක්ද මංදා මම ගිහාන් අයියට මෙච්චර අකමැති. කිසිම වැදගත් පාටක් නැහැ. ගේ ළඟටම එනකම් මගෙ ඔලුවෙ පිරිල තිබුනෙ මේ ගැන. මල්කිත් කතාවක් නැතුව ආවෙ ඒකි දන්නව මම අප්සට් ගියාම මගෙ ඉරියවු වලින්. ඒ වෙලාවට මම තනිවෙන්නයි කැමති කියලත් ඒකි දන්නව. ගේ ළඟටම ආවට පස්සෙ මල්කි කතා කරා.


                      "සුවී........ උඹ ඉන්නෙ දුකෙන් කියල මම දන්නව. ඒකයි මම කතා නොකර ආවෙ."
                         "මට සමාවෙන්න මල්කි. මගෙ හිතට හරි නැහැ. මම අද මේක කතා කරනවා අම්මලා එක්ක."
                      "හරි හැබැයි ප්‍රශ්ණ දාගන්න එපා. හෙට එනවනෙ?"
                    "හ්ම්ම්ම්ම්ම්..... පරිස්සමින් යන්න මල්කි."


 මා නිවසට පැමිණියේ අදනම් මේ ගැන අම්මා සමඟ කතා කරන්න ඕන යන සිතුවිල්ලෙනි. මම ගෙට වෙනකොටම අම්මා කට හදාගෙන එළියට ආවා.


           "ආ...ඔයා ආවද? බලන්න සුදු දෝණි ඔයා අව්වෙ ගිහිල්ලම දැන් කලු වේගනත් එනව... මෙච්චර මේ වාහන දෙකක් ගෙදර තියාගෙන ඔයා කරන විකාර වැඩ. අප්පච්චි තමයි ඔයාව නරක් කරන්නෙ ඕන ඕන විදිහට වැඩ කරන්න දීල. "


 අම්ම අදත් සුපුරුදු විකාශනය පටන් අරගෙන මා කාමරයට තුලට දිවගියේ බෙල්ල බදාගෙන අම්මගෙ මුහුණ  සිපගත් පසු ය.


             "යනව යන්න එනව මෙතන හුරතල් වෙන්න." 


අම්ම පවසන්නෙ ආදරය මුහු වූ තරවටුවකිනි. මා එයට බෙහෙවින් ප්‍රිය කළෙමි. මා ස්වල්ප මොහොතකින් සුපුරුදු ලෙස නාන කමරයට ඇතුල් වුණෙමි.   


                        "දෝණි බේබී... දෝණි බේබී...."


කුසුමා නාන කාමරයේ දොර ලඟට වී කෑ ගසයි. මගේ වෙලාව හරි එහෙනම්. මා නාන කාමරයට ගිය පසු මාගේ වෙලාව අවසාන වන්නේ ඇයගේ නාදයෙන් ය.


                    "අනේ දැන් එන්න බේබි එළියට. ඔය මදෑ නෑවා...ආං අරෙහෙ ලොකු මැණිකෙ බලන් ඉන්නව කෑම කන්න."


තුවායක් හිසේ ඔතාගත් මා අනික් තුවාය ගත වටා දවටගෙන නාන කමරයෙන් පිටතට ආවෙමි. දැං ඉතිං සිදුවන දේ කුසුමා ඉවෙන් මෙන් දනී. හිසේ තිබූ තුවාය ඉවත් කල මා හිස පැද්දුවේ එහි ඇති වතුරින් කුසුමා තෙමෙන්නට හරිමිනි. මාගේ ඒ ආදරණීය විහිළුවට ඇය කවදාවත් කිපුණේ නැත.


                 "කෝ...මෙන්න මෙහාට එන්න...ඔය ඔලුව පිහිදාන්න..."


 ඇය මාව කණ්ණාඩි මේසය ඉදිරිපස ඇති බංකුවේ වාඩි කරවා මා කෑ ගසනාතෙක් මගේ හිස පිසදයි.


                "ඇති ඇති කුසුමම්මෙ... කවදහරි කුසුමම්මා මගෙ ඔලුවම ගලවල තමයි නවතින්නෙ.."


 මා පවසන්නෙ ඇයව පසෙකට කරමිනි.


               "මම දැං පොඩි බබෙක් නෙමෙයි. මම පිහිදගන්නම් අනිත් දවසෙ."


 හැමදාම මෙන් මා පැවසුව ද වෙන්නෙ අනිකය. කුසුමා අපේ නිවසට පැමිණි කාලයක් මා නොදනිමි. අම්මා කියන විදිහටනම් ඒ මා ඉපදෙන්නට පෙරාතුව ය. ඇයට මේ ලොවේ සිටින එකම හිතෛෂිවන්තයො සිටින්නෙ මේ නිවහන තුළ බව ඇය බොහෝ විට පැවසුවා ය. ඒ නිසාම ඇයට කාත් කවුරුත් නැති බවක් දැනුම තේරුම ඇති වයස ආ විට මට පසක් විය. මා ඇයටද මගේ අම්මට තරමට ළෙංගතු විය. සෙනෙහස දැක්විය. ඇයද එසේ ය. එනිසාම මට මේ නිවහන තුළ ආදරයෙ අඩුවක් නම් කිසිම විටක දැණුනේ නැත. වුයේ හැමෝගෙම ආදරයෙන් මගේ නිදහස ටිකක් අඩු වීම පමණි. 
මා කවදත් ආස කරන ඩෙනිම් ෂෝට සමඟ කෙහෙල් දළු පැහැය ගත් ටී ෂර්ටයෙන් සැරසී ජොන්සන් ඕඩිකලෝන් බිඳු කිහිපයක් හිසෙහි ගල්වගෙන ගීතයක් මුමුණමින් තරප්පු පෙල දිගේ පහළට දිව ආවේ අම්මා සමඟින් කෑම කන්න සිතාගෙන ය. ඒත් කෑම මේසෙ අසුන් ගෙන සිටින කෙනා දුටු විට මගේ ඒ සතුට ඉබේම අතුරුදහන් විය. හ්ම්.... මගෙ ආරක්ෂක භටයා..දැන් ඉතිං නිදහසේ කෑම කාලත් ඉවරයි. පඬි කතා ටිකක් කියවන්න ගනියි. එයාගෙ පුරාජේරු.


                    "අනේ අනේ... ඔයානම් කවදාවත් හැදෙන්නෙ නැහැ බබා... හැමදාම කියනව අව්වෙ ගිහින් ආපු ගමන් නාන්න එපා කියල. කෑම කාල හවස් වෙලා නාන්න කිව්ව්ට කවදාවත් අහන්නෙ නෑ"
                     "අයියෝ අම්මා මට බත් කාල බඩ පුරවගන්න දෙන්නකො. ඔයාගෙ බැනුම් වලින් පුරවන්නෙ නැතුව"


 කියමින් මා පුටුව ඇද එහි වාඩි විය. කතා බහක් නැතුව මා කෑම කෑවේ අම්මාට හා අප්පච්චිට සිතින් බණිමිනි. එයට හේතුව ගිහාන් අයියා නොහොත් මාගේ ආරක්ෂක භටයා ය. ගිහාන් අයියා මගේ එකම නැන්දාගේ එකම පුතණ්ඩියා විය. හරියටම කියනවනම් මගේ එකම ඇවැස්ස මස්සිනා. අප්පච්චි විසින් මගෙ ගමන් බිමන් ගැන මගේ ආරක්ෂාව ගැන හොයන්න පත් කරපු කෙනා. 
අම්මයි අප්පච්චි මොනවට මෙයාව මෙච්චර ලොකු කරගෙන ඉන්නවද මංදා? අදනම් මේ ගැන.    අම්මයි අප්පච්චි මොනවට මෙයාව මෙච්චර ලොකු කරගෙන ඉන්නවද මංදා? අදනම් මේ ගැන  මෙයා ගියාට පස්සෙ කතා කරනව කියල හිතාගෙන මම මේසෙන් නැඟිටින්න ඔලුව උස්සද්දියි දැක්කෙ ගිහාන් අයිය මගෙ දිහා බලාගෙන ඉන්නව. මට ඒ බැල්මෙ ලොකු අමුත්තක් දැනුණා. මම ඉක්මනටම නැඟිටල කාමරයට අවා.    

Friday, February 24, 2012



නෙතේ කඳුළු පිස දමන්න
ඇඟිලි තුඩු අගින්
සරා සඳට සිනාසෙන්න
සතුට පිරි හදින්
වසන්තයට අඬ ගසන්න
ඔබේ කටහඩින්
දුරින් ඉඳන් බල ඉන්න
ඔබෙ නෙතු අගින්

තරු පහන් නිවා දමන්න
එළිය දී ඇසින්
අන්ධකාරයෙන් එබෙන්න
පුන් සඳක් ලෙසින්

සදා මෙලෙස බල ඉන්න
මහද කවුළුවෙන්
දිවා ‍රැයේ ගල එන්න
සිහිනයක් ලෙසින්

<Sunil Edirisinghe>


මම ආසම කරන ගීතයක්... සුනිල් එදිරිසිංහ නම් ගායකයාණන්ගෙ හඬ සමඟ මනාවට ගැලපෙන අපූරුව කදිමයි.

Wednesday, February 22, 2012



සඳ ඇවිදින්

අමාවකට පසු
තරු කැට ඉසිමින්
මන්දාකිණියේ
අඳුරු තිමිර පට ඉරා
සඳවතී ඇවිදින්.....
උයන් කොනේ සිටිනා
පිළිම කින්නරියට
සුපෙම්වත් වන්න
කින්නරා සමඟින්......
ඔවුන් මෙන්
ලංකාර තාලයට
සෞම්‍යයය ගැයුමක්
පෙම්බරව ගයමින්.....
සඳ එළියේ
විඳින්නට පෙම් සුව
ඔබ එන්න 
පැතුම් පොදි
වියැකෙන්න ප්‍රථමයෙන්.....

Monday, February 20, 2012


“සඳමඬල සහ අම්මා”

මම ළය සැහැල්ලු කර ගනිමින් දෑස පියා ගතිමි.
තරු මල් කිණිති අතර සැරිසරමින්
සෙමින් සෙමින් පාව යන සිත
සඳ මඬල මත පා තබා නොතබා හිඳීමට වෙර දරයි.
සා සිඟිත්තිට ඇහැරේවි යැයි බියෙනි.
මිහිමඬල අඳුර තුළ කිමිදෙනා හෝරාවක් මුත්
සඳමඬල මත හිඳිද්දී, ඉරමඬල දිස්වනු වැළැක්වීමට
කිසිවකුටත් නොහැකි ය.
ඉදින් මම සඳමඬලට මෙතරම් ම කැමැත්තේ,
හිරු එළිය ම සුපතන දෑසකට උරුමකම් කියනා බැවින් බව
පිළිතුරක් වශයෙන් පැවසීමට හෘද සාක්‍ෂිය එකඟ කරවා ගනිමි.
*******
ඇස් දෙක කොට්ටාව දෙසට අලෝගෙන මහල්වරාව හන්දියට වෙලා ඉන්න කොට එකසිය අසූවට ආපු 138 ක් යාංතං ස්ලෝ කරලා මාව ෆුට්බෝඩ් එකේ එල්ල ගත්ත. ඇඟ ඇතුළට ඇද ගෙන හීනියට ඇස් දෙක කරකෝල වටේ බලද්දි මිනිස්සු ගාණට සීට් තියෙනව පෙනුණා. බැල්මට තීක්ක්‍ෂණය එකතු කරල තවත් වටයක් කරකවද්දියි පෙනුණෙ ඩබල් සීට් එකක වම් පැත්තෙ කොණ හිස් බව. හිත හරිබරි ගැහිලා ඒකෙ ඉඳගත්ත ඇස් දෙකෙන්ම දැක්ක. (කොහාටද – පිටකොටුව, කීය ද -7.50 යි – 10/-ක් – 2.50 ක්. ඉතුරු) පය උස්සන්න ඉස්සර කොන්දට සල්ලි ඕන වුණා. ගනුදෙනුව අතරෙදියි දැක්කෙ අත ගාව සීට් එක හිස් බව. ෆුට් බෝඩ් එක ගාව ම වම් පැත්තෙ සීට් එක – කොන්දා ජැක් එක ගහගෙන මරළතෝනි තියන තැන. අන්න එතන.
මහමෙරක් වගේ දැනෙන ශරීර කූඩුව ම ඇදල අරන් ඔඩොක්කුවෙ ඉන්ඳගත්ත. ජනෙල් කවුළුව ෆුල් ම ඇරදාලා. වායුගෝලයේම සුළං පොරකා ගෙන ඇවිත් හිතේ හැප්පෙන කොට ඔන්න හිත පාවෙන්න ගන්නව. මං දෝතින්ම හිත අල්ල ගෙන පපුව මත්තට තියල නොරිදෙන්න තුරුලු කරගෙන සුළං ධාරාවන්ට හිස නමා අචාර කරනව.
**********
හෘද සාක්‍ෂියේ හඬ දෝංකාර නංවමින්
මා සිහිනයේ මුදාලීමට යත්න දරයි.
දැන් මම සඳමඬල මත උක්කුටියෙන් යුතුව හිඳිමි.
සුසිනිඳුව ගලා එන ළහිරු රැස්,
අතින් අල්ලා බැලිය හැකි තරම් වන සෞම්‍ය ගුණයෙන් යුක්ත ය.
ඒ මා හිස සිට දෙපතුල දක්වා ම දෝවනය කරවයි.
සා සිඟිත්තිය සදාකාලික සුව නින්දක නිදන්නී ය.
ඈ හෘද ස්පන්දනීය රිද්මය,
ධ්‍යානගත මා හදවතට දැනෙන මුත්
දෙසවන ට නෑසේ.
ඒ හෘදයාංගම රිද්මය නැළවිළි ගීතයක් උදෙසා ම
වදන් එක දෙක රැගෙන විත් හදවතේ එදහ මෙහෙ තබයි.
එහෙත් මේ සුගායනීය වූ පද සංඝට්ටනාවක් සඳහා කාලය නොවේ.
**********
මලක් ගැහුවෙ. වනාතෙ සුදාගෙ බඩු. පාගල්. උඩින් සිගරට් පාරකුත් ඇදගත්ත හින්ද ආතල් ට්‍රිබල්. හුස්ම ගන්නත් කම්මැලියි. පෙනහළු වැඩ කරන්නැද්ද කොහෙද. ණෑ. පෙනහළු වලටත් ආතල් ඇති. හුස්ම ඕනෙ ම නම් ගත්තදෙන්- ඕන දෙයක් කරගත්ත දෙන්…
මළ ගේ අන්තිම අහිංසකයි – භානුව වගේ ම. ඌට මූණ පෙන්නන්න ආපු සේරෝම විසිරිලා ගිහින්. (මාත් වැටෙන්නේ ඒ ගොඩට ද?) අම්ම වෙනුවෙන් ආපු උගෙ මිත්‍රයො විතරක් තැන තැන ඉතුරු වෙලා හිටියා. කොඩිවැල් බැඳ බැඳ – විට හප හප – කාඩ් ගස ගස- සූස්ති ඇද ඇද – පිස්සු කෙළ කෙළ..
මං අම්මගෙ ප්‍රාණ කූඩුව දිහා නිසොල්මන් ව බොහෝ වෙලා බලාගෙන හිටියා. භානු හිටියෙ මගෙ දකුණු පැත්තෙන් පිටිපස්සට වෙන්න. ඈ වෙනුවෙන් අල්ප මාත්‍ර යුතුකමක්වත් කරගන්න බැරිවුණු දෙඇස් බිමට නමා ගෙන. එකපාරට ම මං දැක්ක පතුලට ම ගිලිණු ඇගෙ ඇස් හීනියට විවර වෙලා පුතු වෙතට යොමු වෙලා පියැවිලා යනවා – ආඩම්බරයෙන් පිරුණු බැල්මක්. (පිටෝටුව – පිටෝටුව – ඉක්මන් කරල නගින්නකො – ඔය ඔය- මහත්තයා එක පැත්තකින් අල්ල ගන්නකො – දෙපැත්තෙන් ඉඩ දෙන්න. මැද්දෙන් පස්සට යන්න- නම දෙනෙක් සල්ලි ගන්න.)
මූ මහ වාතයක්- ආතල් කුඩු කරනව. සිත කෝ? පිණ්ඩපාතෙ ගිහින් ද? සිත යළිත් ඔඩොක්කුවට වැඩම කිරීමට ආනාපානා සති භාවනාව… මෙච්චර වෙලා මෙච්චර හුළං නාසය හරහා එහෙ මෙහෙ ගිහින් තියෙනව. පෙනහළු කම්මැලි නෑ මං තරම්.
වහගෙන ඉන්න ඇස් දෙකට ආලෝකය පේන්නෙ කොහොමද? විදුලි බුබුළු ඇහැරගෙන ඉන්න ලයිට් කණුවක් පහුකරන හැම විටක ම ආලෝකය ඇවිත් ඇස් කඩාගෙන යනව. ඒ කියන්නෙ ආලෝකය ට සම්, මස්,ලේ නහර හරහා ගමන් කර මොළයත් සමඟ ගනුදෙනු කළ හැකියි. මේ ඔස්සේම සිත මෙහෙවුවොත් විද්‍යාත්මක වාදයක් හෝ නියමයක් බිහි කරලීමට නොහැක්කේ ඇයි? සාහිත්‍යකාරයෙක් හෝ ලේඛකයෙක් වීමට පෙරුම්පුරන එකේ තේරුමක් තියේවි ද? පත්තර කන්තොරුවකට වෙලා කුරුටු ගගා ඉන්න එකේ හරි, වැඩක් නැති වෙලාවට ඩඋ බලාගෙන ඉඳල කවියක් ලියන එකේ හරි තේරුමක් තියේවි ද? ඊට වඩා දස දහස් වාරයක් හොඳ නැද්ද, „ආලෝකයට සම්, මස්, දල්, නහර විනිවිද ගොස් ප්‍රතික්‍රියා කළ හැක“ යන උපන්‍යාසය මත පදනම් ව විද්‍යාගාරයක් ඇතුළට වෙලා පරීක්‍ෂණ, නිරීක්‍ෂණ, සම්පරීක්‍ෂණ කරල අලුත් ම අලුත් විද්‍යාත්මක සොයා ගැනීමක් කරන එක. භෞතික විද්‍යඥයෙක් කියන්නෙ පොඩි පහේ මිනිහෙක් ද? සිරා මීටරයක් – අයිඩියල් පොරක්.
ඒ ලෙවල් මැත්ස් කරද්දි, ෆිසික්ස් කාරයගෙ (ග්‍රේරුවගෙ) නෝට්ස් වනපොත් – ආලෝක බොක්කට ම වැදිච්ච පාඩමක් – එළකිරි වගේ නෝට්ස් ටික. අපරාදෙ මගදි ඇන ගත්තෙ. දැන් නම් ෆුල් බ්‍රේන් වොෂ්. මළකඩ කඩා ගත්තොත් බැරිවෙන්න හේතුවක් නෑ. (මහත්තයා – ඔය කොළ ෂර්ට් එක- ඔහොම තව ටිකක් පස්සට යන්නකො- ළඟින් බහිනවා- හරි හරි බස්සෙක නවත්තල දෙන්නම් ඉතිං යන්නකො)
*******
ඇපලෝව බඳු විසල්
සූස්තිය පත්තු කර
සඳ මඬල මත සෙමින්
පා නගා ඇදෙන සඳ
නුඹ මෙලෙස කෑ ගසනු
කිම මිතුර
පුංචි සා සිඟිත්තිට ඇහැරේවි
පව් නැද්ද
බලන් මේ පහු කරන සීත හිම
අත දමා කඩන් කන්න හිතෙන
ඒ නමුදු මේ මොහොත
කෝටියක් නොවටී ද
උගුර ලාවට තෙමන
වැඩි සීනි ප්ලේන්ටිය
*********
බස් එක කිරුළපදන් – ගෑනු රෑනක් පෙරහැරක් වගේ ගොඩවෙනවා – ගෑනු කිව්වට අම්මල වගයක් බව -50 ට වැඩි -පැහුණු කටහඬින් ප්‍රකාශයට පත් වෙනවා. හත් දෙනෙක් නැත්නම් අට දෙනෙක් විතර. හඬ මිශ්‍රනය විවිධ ස්වරයන්ගෙන්. විවිධ හැඩතලයන්ගෙන් දෙකන් බෙර ස්පර්ශ කරනව. (ඔය ලොකු බෑග් ඉස්සරහින් තියන්න- ඔය අම්මල ඔහොම පස්සට යන්න-ඉතිං යන්නකො අම්මෙ) වැහුණු ඇස් දෙකට පේනවා අම්මලා එකිනෙකා මාව පහු කරන් අමාරුවෙන් අමාරුවෙන් පස්සට ඇදෙනව – අතේ කටේ මලු.
ඉතිං නැගිටපං, නැගිටපං – නැගිටල සීට් එක දෙන්නැද්ද? ඇස් දෙක අරින්නැද්ද? ඇස් දෙක ඇරල, නැගිටලා සීට් එක දෙන්නෙ කාට ද? අම්මලගෙන් එක්කෙනෙක්ට. ඒක අසාධාරණ නැද්ද? එතකොට අනිත් අය. ඔව්! ඒක අසාධාරණයි. මේ උන්න වගේ ම ඉන්නව. ඒගොල්ලො හිතයි මං නිදි කියල. තව පොඩ්ඩක් මෙහෙම්ම ඉඳල ඔළුව බෙල්ලෙන් කඩා හැලෙන විදියට අතෑරිය ම “හොඳට ම නිදි “ කියල කියන්න පුලුවං දෘෂ්‍ය රූපයක් හදතෑකි. අනික මං ලෝකෙට ආදරේ කරන හැටි, මිනිස්සුන්ට ආදරේ කරන හැටි, මගේ ම අම්මට ආදරේ කරන හැටි වැඩියෙන් ම දන්නෙ මං ම නෙ. ඒකෙ පරක් තෙරක් තියෙනව ද? මගේ ජීවිතේම මිනිස්සුන්ට ආදරේ කරන එක නෙමෙයි ද? ඉතිං අම්මල හත්අට දෙනෙක් බස්සෙහෙකට නැගපු වෙලාවක, මට ඔලුව උස්ස ගන්න බැරුව නින්ද ගිහිල්ල වගේ ඇස් පියවිල තිබ්බ වෙලාවක, ඉඳන් ඉන්න තැනින් නැගිටල සීට් එක නොදීපු මේ වගේ නිශ්චිත සිද්ධියකින් මගේ මානව දයාව තීරණය වෙන්නෙ කොහොම ද?
කොන්ද පණ නැති පෙන්දා. තොට කශේරුවක් නෑ. තොගෙ දණිස් දෙක පණ නෑ. තොගෙ අම්ම වගේ ම අම්ම කෙනෙකුට බොරු නින්දෙන් පිබිදිල, ඉඳන් ඉන්න අසුන පිළිගන්නන්න තරම් වත් ආත්මයක් නෑ.
බෑග් එකක් වගේ දෙයක් මගේ „නයි මල්ල“ උඩින් සීරුවෙන් තබනවා දැනෙනව. මං ඉන්නෙ බෙල්ල කඩාගෙන වැටුණ ම නිර්මාණය වන හොඳට ම නින්ද ගිහින් රූපය තුළ. ඇස් ඇරල බලන්න බෑ, මොකක්දවත් කියල. එතකොට „හොඳට ම නින්ද“ නින්ද කැඩුණු තත්වය බවට පත් වෙලා අම්මලාගේ දෑස් එක්ක ගනුදෙනු කරන්න සිද්ධ වෙනව. ඒක හරිම බරපතලයි. මේ ඉන්න ඉරියව්වේදී බෑග් එකක් සීරුවෙන් තැබීම නැමැති ක්‍රියාවට ප්‍රතිචාර දක්වන්න යෑම වංචාරක් කරන බව ඔප්පු වීමට සාධකයක්. දැන් නැගිටල වැඩක් නෑ. ඒ සීමාව පහු කරල බස් එක හෝල්ට් ගාණක් පෙරට ගිහින්. ඛරන ක්‍රියාවක වුණත් සැබෑ වටිනාකමක් දන්නෑ. ඒත් බෑග්ගෙකක් තියාගන්න එකත් සාපේක්‍ෂ වශයෙන් හොඳ වැඩක්නෙ.
සිත කෝ??
බෑග් එකට යට වෙලා ද?
අම්මල වුණාට නාඹර කෙල්ලො රංචුවක් වගෙයි සිරික්කිය. එක ම රෑනකට එකතු වුණාම දැනෙන පොදු හැඟීම සෙසු සියලු කාරණා යටපත් කරනවා. අම්මල පොඩි උන් වගේ පුංචි පුංචි අහිංසක විහදළු තහළු වලින් ගහගන්නවා. ඒ අතරින් කටකැඩිච්ච ඒත් සුන්දර වචනයක් දෙකක් අදාළ කෙනොගේ ඇඟේ වැදිල බිම වැටෙනව. අම්මලගෙ හිනාවැල් වලට කිසිම සංවරයක් නෑ. ඒත් මොකටද එහෙම දෙයක්. ඒ සීමාව ඉක්මවල කොච්චරක් කල් ගත වෙලා ඇද්ද? දැන් පපු කැනැත්තෙන්ම එන හැම හිනාවකට ම අවශ්‍ය අවශ්‍ය විදිහට හැසිරෙන්න ඉඩකඩ ලබා දීලා. අම්මලගෙ සිනාවන්ට කිසිම සීමාවක් මායිමක් නෑ – කඳුළු වලට වගේ ම.
මා තුළ ප්‍රශ්නයක් පැන නැගෙනවා. මේ ගොල්ලො මේ රෑ බෝ වෙච්ච වෙලාවෙ කොහේ යන්ඩ යනව ද? කොහෙ ගිහින් එනව ද? ඒකට හෝඩුවාවක් ලැබෙන එකම එක වචනයක් කාගෙ හරි මුවකින් වැටෙයි කියල විමසිල්ලෙනුයි ඉන්නෙ, මගෙ දෙකන් ඉස්සි ඉස්සී. ඒත් කිසිම හෝඩුවාවක් නෑ. මං මොකට ද ඒවා හිතන්නෙ. අම්මලට තරම් වැඩ රාජකාරි තියෙන මනුෂ්‍ය ප්‍රාණීන් කොට්ඨාශයක් මිහිතලයෙ ඉන්නවා. ඉතිං අම්මල කොහෙ ගියාම මොකෝ? කොහෙ ගිහින් ආවම මොකෝ?
(ඒයි මේ බලහංකො මේ මනුස්සයගෙ මනමාලකම – අපි ළමිස්සියො වගෙ පේනවද දන්නෑ – කට ගොන්නක් බීගෙන- ඇයි අපි නාකි ද? මුන්ට අම්මල ඉඳල නැද්ද? කෑවනං බීවනං පාඩුවෙ ඉන්ඩ එපැයි – වැරදීමක් වෙන්නැති – මොන? මාත් බලාගෙන හිටියෙ දෙතුං විඩක් ම හේත්තුව – ගඳේ බෑ – බස්සෙකට ම එකෙක් හිටිය ම ඇති – බලන්නකො අනිත් අය ඉන්නෙ මනුස්සයො විදියට, ලස්සනට)
අනාත කේස් එකක් – කුණු වෙන්න ගහපු එකෙක් අම්ම කෙනෙක්ගෙ පශ්චිම භාගයට වැඩි පීඩනයක් දීල. ඇත්තටම එහෙම හිතල කරන්න ඇද්ද? නැතිනං නහර වල ඇල්කොහොල් වැඩිකමට බැලන්ස් නැතිව ගිහින් ළඟ ම හිටපු කෙනාගෙ – අම්මගෙ- ඇඟ ට බර වෙන්න ඇද්ද? අරක්කුනෙ – වතුරයැ…
අම්මලගෙ හඬවල් එකකට එකක් සෙකන්ඩ් නෑ – සිද්ධියට අදාළ විවිධ අර්ථකතන විවිධ මුහුණුවරින් – මෑන්ගෙ ඩෝප් බහින්න ඇති. නෑ තාම ඩෝප් ඇති – නැත්නම් ඇයි බස්සෙකෙන් නොබැස්සෙ. ඒ ලැබුණු පදවි තානාන්තර – නම්බුනාම වල තරමට. මෑන්ට ඒකෙ වගක්වත් නෑ. ඇල්කොහොල් නහයට පොඩ්ඩක් හරි උඩින් ඇති.
ඒ සිද්ධිය එතනින් ම ඉවරයි. කවුරු හරි ද? වැරදි ද? කවුරු කවුරුත් හිතනව ඇති.” බලන්නකො අනිත් අය ඉන්නෙ මනුස්සයො වගෙ ලස්සනට”. එහෙම කියැවුණු වදන් වැල මගෙ බොක්කට ම වැදිලා. කොන්ද පණ නැති මටත් “මනුස්සය” යන වචනය අදාළ ද? මං ඒ වචනෙ බර -අන්තර්ගතය -දිරව ගන්නෙ කොහොම ද? ඒ සා කාරුණික වූත්, ආදරණීය වූත් වදන් ගලා ආ මුවට හිමිකම් කියන පා යුගත් එවන් වූ තවත් පාදත් තව ම ඇත්තේ කිටි කිටියේ තෙරපෙමින් නේද?
තෝ හොඳට හරි බරි ගැහිල ආතල් ගන්නව – සැප ගන්නවා. යකෝ යහපත් ලෝකය පැතීමට අයිතියක් තියෙන්නෙ ආත්මයක් තියෙන එහෙකුට විතරයි – පෙන්දා……
මගෙ වදන් මගෙ ම ඔළුව ගිනි තියනවා. මට ඕන අත් දෙකෙන් කෙස්ස ඇද ගන්න – ඒත් බෑ – මං ඇහැරිල කියල එතකොට පේනවා. මං වංචනිකයෙක් – ඒක තමයි ඇත්ත – ඒත් කවුරුවත් මං ගැන එහෙම හිතනවට මං කැමති නෑ. ඒත් කොහොමටත් අත් දෙක උස්සන්න බෑ. පපුවට තුරුළු කරන් ඉන්න සිත ජනෙල් කවුළුවකින් විසි වී ගියොත්…. ආනපාන සතිය.
**********
මම සුදු පුළුං වළා අහුරක් මත හිස හොවා ගෙන හිඳිමි.
හිස කෙහෙරැළි අතරින් වළාකුළු දියව යන සඳ,
හිම සදිසි සිහිතලකින් හිස ද, සිත ද පිරී යයි.
සිහිතලෙන් මිදී ගිය වත මත අඩවන්ව විවර දෙනෙතට
හිරු කිරණ ළං ළංව පෙනේ.
වළාකුළු දියව යන්නේ එහිරු කිරණින් බව වටහා ගැනීමට
පමා වන්නේ මන් ද?
දැන් වළාකුළු මුළුමනින් ම දියව ගොසිනි.
සුනිල්වන් සුපැහැදිළි අහස්තලය පුරා
තැන තැන තාරකාවෝ හුදෙකලාව.
මා දෙස ම නෙතු යොමන් බවුන් වඩමින් හිඳිත්.
ඒත් ඒ තාරකා නොව හෝඩි පොතකින් ගිලිහුණු
අක්‍ෂරයන් බවත්,
ඒවා සුසංයෝග කොට සුන්දර වැකි ලිවිය හැකි බවත්
මොහොතකින් මට පසක් වෙයි.
„ලොව සියලු යහපත් ද බිහිවන්නේ හිරුරැසින් හා මව් කිරෙනි“.
මම අහස් පත් ඉර මත්තෙහි එලෙසින් „අම්මා “උපුටනය කරමි.
******
මං අම්ම බලන්න යන්නැත්තෙ ඇයි? නොයන්නෙත් නෑනෙ. ඒ ඇද්ද? රස්සාව නැති වුණත් එක්ක ම ගෙදර යන එක ටික ටික අඩුවෙන්න ගත්තෙ මං ම හදාගත්තු හේතු හින්ද නේද? බත්පතේ වෙනසක් දැනෙන්න අම්ම ඉඩ තිබ්බ ද? සිනහවෙ – කතාවෙ කිසිම අඩුවක් තිබ්බ ද? නෑ! එහෙනම් ඇයි? මට ඒ සෙනෙහස දරා ගන්න බෑ. ඒකයි හේතුව. මගෙන් ගෙදෙට්ට වෙන අඩුපාඩුකම් මට දැනෙන්න ඇරිය නම් සිදුවීම් මීට වෙනස් වෙන්න ඉඩ තිබිණ. ඒත් දැන් මගෙ ඒ ඈත් වීම සාමාන්‍යකරණය වෙලා. සතියකට දවසයි ගෙදර යන්නෙ – ඉන්නෙ – බොහෝ වෙලාවට සති අන්තෙ.
ඒත් දැන් සති එකහමාරකින් විතර ගෙදර ගියේ නෑ නේද? හැමදාම උදේට විසි කරන්න උයන බත් පංගුව මේ මොහොතෙත් මේසෙ උඩ තියෙනවා. ඒත් මට අදත් ගෙදර යන්න වෙන්නෑනෙ. අන්තිම බස්සෙක ජනපදේ හන්දිය පහුකරන සද්දෙ කණට වැටුණ ම අම්මගෙ පපුවෙ රිද්මය වෙනස් වෙනව ඇති. බස්සෙකෙන් බැහැල ගෙදෙට්ට එන්න ගත වෙන මිනිත්තු කිහිපය පුරා ම ඒ රිත්මය නොවෙනස් ව ඒ විදිහට ම තියෙනව ඇති. මං නේන බව දැණුනහම ඇගේ ඇස් වල කඳුළු පිෙ®රනව ඇති. මේසෙ අයිනක සීතල වෙන බත් පංගුවත් එක්ක උදේ ම වීසි කෙරෙන්න තවත් බත් පංගුවක් එකතු වෙනව ඇති.
අලුත් රස්සාවෙ වැඩ ටිකක් වැඩි බව ඇත්ත. රාජකාරි වැඩයි, මගේ වැඩයි, රටේ වැඩයි සේර ම එකතු වුණා ම ගෙදර යන්න, ගිහින් නිදහසේ ඉන්න කාලයක් ඉතුරු නොවන බවත් ඇත්ත. එහෙත් නිශ්චිතව ම ගෙදර යා හැකි ඉඩකඩක් ලැබෙන හැම අවස්ථාවකදි ම මං ඈ බලන්නට ගෙදර යනවා ද? පඩිපත පඩි කොළෙත් එක්ක ම අතේ ගුලි කර අවම උවමනාවන් සඳහා පමණක් ඇගෙන් ම මුදල් ඉල්ලා ගැනීම වීර ක්‍රියාවක් විදිහට ද මා දකින්නේ. ඇගේ සෙනෙහස මුදල් වලට හිලව් කිරීමක් නොවෙද මා මේ කරන්නේ. කෙතරම් පාදඩකමක් ද?
ඇය මේ මොහොතේ මේ බස් රථය තුළ සිටියා නම්, සෙනඟ අතරින් යන්තමින් මගේ කෙස් ගහක් හෝ දුටුවා නම් සෙනඟ පීරා ගෙන මා අසළට ම ඇවිත් මට කූද්දන්නෙ නැතිව මා දිහා ඇහිපිල්ලමක් වත් නොගසා ම බලා ඉඳීවි – මගෙ රත්තරං පුතාට වැඩ කරල මහන්සියට නින්ද ගිහිං – නින්දක්වත් නැතුව කියෝනව – ලියනව – ඇති- නිදාගන්නවත් වෙලාවක් නැතුව ඇති – පව් ! බෙල්ලත් කඩං වැටිල – ගෙදර එන්නවත් වෙලාවක් නැතුව දුක් විඳින හැටි – මෙහෙම හම්බ කරලනෙ ඔක්කොම සල්ලි මගෙ අතෙ ගුලි කරන්නෙ- ඔන්න ඔය වගේ දහසකුත් දේවල් ඈ මා ගැන හිතාවි. මට ඇහැරේවි යයි දුකින් කොයිතරම් සෙනඟක් හිටියත් මගෙ ඇඟට කාටවත් බර නොවෙන්න ඉඩ නොදී වමතින් සීට් එකත්, දකුණතින් කොන්දොස්තර වැඩ හිඳින හරස් පොල්ලත් දැඩි හිතින් අල්ලගෙන හිඳීවි. බස්සෙකේ ම සෙනඟ ඇගෙ පිට මත ට වැටුණත් ඇගෙ දෑතේ වීරිය පැරදවීමට බැරි වේවි. ඇගේ සුසුමකින් පවා මගේ නින්දට බාධා වේ යැයි සිතා ඈ සුසුම් නොහෙළා ම බලා හිඳීවි. කඳුළක් මා ගතට ගිලිහුණොත් මා ඇහැරේවි යැයි සිතා කඳුළක් හෙළීමට දෑසට ඉඩ නොදීමට ඈ වග බලා ගනීවි. (සේරෝම ඉස්සරහින් බැහැ ගන්න – අපි ස්ටෑන්ඩ් යන්නෑ – මෙතනින් හරෝනව)
****************
මම දීර්ඝ සුළං ධාරාවක් ළය පුරා උරා ගනිමින්
දෑස විවර කරමි.
එ සැණ මා සඳමඬල මතින් ගිලිහී ගොස්,
තාරකාවන් හා ගැටෙමින්
උල්කාපාතයක් සේ මිහිමඬල මත ඇද වැටෙයි.
බිම ඇනුණු දෙදණින් ම හිඳිමින් මම සෙමින් හිසෝසවා බලමි.
හිරු දහසක ආලෝකයෙන් මා දෑස පිරී ඉතිරී යයි.
ඒ ආලෝකය කුමක්දැ යි මා පවසන දෑ විශ්වාසයට ගැනීමට
ඔබ බොහෝ සෙයින් මැළි වනු ඇත.
එය මට ද එසේම ය. එහෙත් සැබෑව නම් එයම ය.
මා ව්‍යාජය නිදා හුන් අසුන අස,
ස්නේහය පිරී ගිය දෑසින් මා දෙස ම බලා ගෙන උන්නී
මගේ අම්මා ය.
2000 වසරේ දී වාරණයට ලක් වූ “මේරි නම් වූ මරියා” කෙටි කතා සංග්‍රහයෙන්