Thursday, March 1, 2012



                               දෛවය

        
         2


ඇඳ විට්ටමට කොට්ටයක් තබා මා එහි හාන්සි විය. ඇඳ අසල තිබෙන කබඩය උඩ තබා ඇති මාගේ පුංචි කැසට් යන්ත්‍රය වෙත මගේ අතැඟිලි දිව යන්නේ නිරයාසයෙනි. මා එහි ස්විචය කරකවා එය ක්‍රියා කෙරුවෙමි. එය මා සෑම දිනක්ම කරන සුපුරුදු අංගයකි. එය තුලින් මා බෙහෙවින් ප්‍රිය කරන ගීතයක් ගලා ඒ. මාගේ සිතට සහනයක් දැනෙන්නට විය. දෑස තදින් පියාගෙන ගීතයට සවන් විවර කළ විට සිතේ තිබෙන සියලුම දොම්නස් ගති පහව යන සෙයක් මට දැනේ. " දුවේ නුඹ මගෙ ප්‍රාණයයි... සැබෑ වුව සුබ සිහිනයයි.....සෙනෙහසින් කුළ ගෙට පිය නඟන්නේ....... සනුහරේ අභිමානයයි..." සුනිල් එදිරිසිංහ ගායකයානන්ගෙ ගැයුම මා අසා සිටින්නෙ දැහැනකටැ සම වැදී ය.

ඇඳ උඩට ඉතා තදින් යමක් වැටුණා සේ දැනීමෙන් මා එකවර එම දැහැනින් මිදුණෙමි. ගිහාන් අයියා..


                  "මොනා ද ගිහාන් අයියා... ඔයාට මැනර්ස් කියල දෙයක් නැද්ද ආ....?"
                                              "ඇයි සුවී? ....මොකක්ද අවුල ?"
            "කෙල්ලෙක්ගෙ කාමරයට ඔහොම එකපාරටම එන සිරිතක් නැහැ කියල ඔයා දන්නෙ නැද්ද?"
මා තරහෙන් ඉවත බලාගෙන පැවසුවෙමි. 


                "අයියෝ.. බබා එහෙම වෙන්න ඕන තැන් තියෙනව. ඒත් මෙහෙ මම එහෙම වෙන්න ඔනෙ නැහැනෙ. මොකද ....මේ ගේ මට මගෙම ගෙදර වගේනෙ....... මේ ඔන්න මම අම්මගෙන් අවසර ගත්ත ඔයාව හෙට පාටියකට එක්ක යන්න. නෑ... බෑ ....කියන්නෙ නැතුව රෙඩි වෙලා ඉන්න හොඳේ....." 
                             "අනේ ගිහාන් අයියා... මට හෙට වැඩ වගයක් තියෙනවනෙ." 
                        "ඒව හරියන්නෙ නෑ..... ඒ වැඩේ වෙන දවසකට දාගන්න. ඕකේ. .....මම හරියටම හවස 7 වෙනකොට ඔයාව ගන්න එනව. ඔයා රෙඩි වෙලා ඉන්න... එච්චරයි. ඔන්න එහෙනම් මම ගියා. බායි..."
ගිහාන් අයියා කාමරයෙන් ගිය පසු මා මව සොයා දිව ගියෙමි.
                                                                       
                                         "අම්මා..".


මාගේ ඇමතීමෙන් ඇය කියවින් සිටි පුවත්පත පසෙකින් තබා මා දෙස නෙත් හෙලීය.


                             "මොනා ද අම්මා මේ කරන වැඩ..? ඇයි අම්ම ගිහාන් අයියට මාව පාටි එකට එක්ක යන්න හා කිව්වෙ?"     ඇයගේ ඉදිරිපසින් බිම හිඳගත් මා විමසුවෙමි.
                             "ඉතිං මොකක්ද ඒකෙ ඇති වැරැද්ද? එයා පිට ළමයෙක් නෙමේ...... අනික... හැමදාම ඔයාව එයා එක්ක යන්න අහන්නෙ නැහැනෙ ළමයො."
                                     "අනේ අම්මා ..මම ආස නැහැ යන්න."
මම පුටුවේ වාඩි වී සිටි මවගේ දෙදණ මත මගේ හිස තියා ගතිමි. ඇය සෙමින් මගේ හිස පිරිමදිමින් හඬ අවදි කළාය.
                           "සුදු දෝණි.. මේ අහන්න. දැං ඔයා පොඩි බබෙක් නෙමේ. ගිහාන් කියන්නෙ කවදහරි ඔයා මැරි කරන්න ඉන්න කෙනා. ඔයා ඉගෙන ගෙන ඉවර වෙනකම් අපි ඉන්නෙ ඒ වැඩ පිළිවෙලක් කරන්න. ඔයා ඒ නිසා ඒ ළමයගෙ හිත රිද්දන්නෙ නැතුව ඔය ගමන ගිහිං එන්නකො." 
මේ ගැන කතා කරන්න හොඳම වෙලාව මේක තමයි. අම්මම මාතෘකාවට ආපු එක හොඳයි එක අතකට. 
                           "අම්මා.." 
                                   "ම්ම්ම්ම්ම්...."
                                "මම අම්මට කියන්නමයි හිටියෙ...... අනේ අම්ම ගිහාන් අයියව මම ස්කූල් ගිහින් එද්දි මගෙ පස්සෙන් එවන එක නවත්තන්න කියන්න අප්පච්චිට...... මම ආරක්ෂා වෙන්න මම දන්නව. එයා එන එකෙන් වෙන්නෙ මම ලැජ්ජා වෙන එක විතරයි..... ප්ලීස් අම්මා.."
                                "අනේ බබා....... ඔයා දන්නවනේ.... ඔයා පයින් යනවට අප්පච්චි කැමති නැහැ කියලා. ඒත් ......මම කැමැත්ත අරන් දුන්නෙ බොහොම අමාරුවෙන්. ඔයාට යන්නම ඕන කිව්ව නිසා...... ගිහාන් අයියව යවන්නම් කියල පොරොන්දු කරගෙන ඔයාගෙ ආරක්ෂාවට. ඒක නතර කරන්න ගියොත් අප්පච්චි කියයි ඔයාට පයින් යන එක නතර කරන්න කියල. ඔයා ඒකට කැමතිනම්..... මම ගිහාන් අයියා එන එක නවත්තන්නම්."


මදැයි මමත් දෙයක් කිව්වා. දැන්නම් ඉතිං ඒ වැඩේ හරියන්නෙ නැති බව මට සක්සුදක්සේ පැහැදිලියි. හිතුනොත් මම බස් එකේ යන්න පටන් ගන්නවා. එතැනින් නැගිට මිදුලේ ඇති ඔන්චිල්ලාව වෙත ඇදුණු මා ගිහාන් අයියා ගැන සිතන්නට පටන් ගතිමි. ගිහාන් අයියා උසස් පෙළින් පසු ඉගෙනුම අත හැර ව්‍යාපාරයක් කරගෙන යයි. ඔහු නගර කීපයකම පොත් සාප්පු පවත්වාගෙන යයි. එයට බෙහෙවින් කැමති වූයේ අප්පච්චිය. මොකද අප්පච්චිගෙ ව්‍යාපාර වලටද ඔහු හවුල් කරගත හැකි නිසාය. ඒත් ගිහාන් අයිය වැඩි හරියක් කරන්නෙ යාළුවන් සමඟ විනෝද විමය. මිල මුදල් අතින් අඩුවක් නොවූ හෙයින් ඔහුට කිසිම දෙයක වගක් නොවීය. අනේ මංද අප්පච්චිලා මට ගිහාන් අයියව ප්‍රපෝස් කරාට මගෙ හිතේ එයාට වැඩි කැමැත්තක් නැහැ. මේ ගැන හෙට මල්කි එක්ක කතා කරන්න ඕන. ඒකිගෙන්වත් බලමු මේකට සහනයක් ලැබෙන විදිහෙ උත්තරයක් හම්බවෙයිද කියලා. කල්පනා සාගරයෙ කිමිදී සිටි හෙයින් අප්පච්චිගෙ වාහනේ ගේට්ටුවෙන් ඇතුළු වෙනකම් මට වගක් නොවූ හැටි. පෝටිකෝව යට කාරය නවත්වා අප්පච්චි සිනා මුසු මුහුණෙන් යුතුව මා දෙසට ආවේය. 


                        "මොකද මගෙ කෙලි පැටික්කි අද මෙතනට වෙලා... මම එනකම්ද? ම්ම්ම්ම්..."


මා නැඟිට අප්පච්චිගෙ බඳ වටා මගෙ අතක් යවා අනික් අතින් මගෙ කරමත තිබූ අප්පච්චිගෙ අත අල්ලාගෙන ඔහුට තුරුළු වුණෙමි. මගේ හිස සිපගත් ඔහු 


                      "අපි ගෙට යමු සුදු දෝණි මට අදනම් හරිම මහන්සියි" පැවසීය. අප ගෙට ඇතුළු වනවිට සිනාමුසු මුහුණින් ආලින්දයට ආ අම්මා
                        " ආ.. මම මේ බලාගෙන හිටියෙ කාර් එක නවත්තල කොහෙද ගියෙ කියල...මේ නාකි ළමිස්සි හුරතල් කරන්නනෙ ගිහින් තියෙන්න" යැයි පැවසීය.
                         "අනේ ඉතිං මම මෙයාව හුරතල් කරන්නෙ නැතුව වෙන කාව හුරතල් කරන්නද නෝනා.. මගේ එකම කෙල්ලනෙ මේ...ඔයයි දුවයි තමයි මගෙ එකම සතුට සැනසීම. ම්ම්ම්..ඒක නෙමේ නෝනා ගිහාන් පුතා ආවෙ නැද්ද අද මේ පැත්තෙ?"
                             "අපෝ මොකද නැත්තෙ මහත්තයා ඇවිල්ල දවල්ට කාල වැඩ වගයකට යන්න ඕන කියල ගියා.
                                "ම්ම්ම්ම් මිනිහා මොනා නැතත් බාරගත්ත වැඩේ හරියට කරනව." එසේ කියා අප්පච්චි පුටුවට බර විය. මමද ඔහු අසලින්ම හිඳ ගත්තෙමි.
                              "ඔයා මොනාහරි බොනවද?........ නැත්නම් වොෂ් එකක් අරගෙන කෑම කනවද මහත්තය? "අම්මා අසයි.
                           " කූල් ඩ්‍රින්ක් එකක් බීල ඉමු නෝනෙ" 
අම්මා  අප්පච්චිට බීම වීදුරුවක් ගෙනෙන්නට ගිය පසු මා අප්පච්චි සමඟ කතාවට වැටුණෙමි. 
                          "අප්පච්චි .....ගිහාන් අයිය මට හෙට පාටි එකකට යන්න කතා කරනව. මම වැඩිය ආස නෑ අප්පච්චි යන්න. අනේ අප්පච්චි කියනවද ගිහාන් අයියට මාව එක්ක යන්න එපා කියල. එයා අම්මගෙන් අහල අම්ම කියල කමක් නැහැ කියල."
                                                    " ඇයි දැන් ඔයා යන්න අකමැති ?"
                                  "මට වැඩ වගයක් තියෙනව අප්පච්චි. අනික..... මම අදුනන්නෙත් නැහැ එයාගෙ යාළුවො වැඩිය. මම පස්සෙ දවසක යන්නම් අප්පච්චි..... මගෙ හොඳ අප්පච්චිනෙ...... කියනව නේද?" මා පින්සෙන්ඬු විය. මුවට මඳ සිනහවක් නඟාගත් අප්පච්චි හිස සැලීය. 
                                   "උම්ම්ම්මා.. මගේ හොඳ...... අප්පච්චි "යි පවසමින් මා ඔහුගේ මුහුණ සිප ගත්තෙමි.
                           "ආ..ආ.. මොකද මේ...අද මොකකටද අප්පච්චිව රවටගත්තෙ" යි අසමින් අම්මා බීම වීදුරුවද රැගෙන අප වෙතට ආවාය.
                                 "මේ... ගිහාන් පුතා පාටි එකකට යන්න කතා කරා කියන්නෙ. මෙයාට යන්න බැහැලු. මට කියන්නලු ඒක."
                               "මම කමක් නැහැ කිව්වනෙ මහත්තයා..... ඒ ළමය බලයි දැන් බෑ කියන්නෙ ඇයි කියල"
                               "කමක් නැහැ මෙයා අකමැතිනම් ඔන්න ඔහෙ හිටපුදෙන් නෝනෙ ...... මම ගිහාන්ට කියන්නම්කො."


අම්මා හිස සලා එය අනුමත කළාය.  ඔවුන්ට කතා කරන්න ඉඩ දී මා කාමරයට ආවෙමි. අප්පච්චි සහ අම්මා කවදාවත් තීරණයකදි ගැටුණේ නැත. කිසිම විටෙක ඔවුන් බහින් බස් වනවා මා අසා නැත. අප්පච්චි සහ අම්මා අතර හොඳ තේරුම් ගැනීමක් තිබුණි. අප නිවස එනිසාම සුන්දර නිවහනක් විය. මා නිතරම පැතුවේ අප්පච්චි වගේ ගතිගුණ තියෙන පිරිමියෙක් මගෙ ජීවිතේටත් ලැබෙන්න කියාය.            


                                                                  මතු සම්බන්ධයි  ,,,,,,,,,,,,,,,,       

No comments:

Post a Comment