Sunday, March 18, 2012


                                                         දෛවය





        3


   මතක ඇති කාලයක මා බසයේ ගමන් කර තිබුනේ නැත. එනිසාම මට මෙය තරමක අපහසුවක් ගෙන දෙන්නක් විය. නමුත් ගිහාන් අයියගෙන් මිදී නිදහසේ නිවසට යාමට වෙනත් මාර්ගයක් නැත. අපහසුවෙන් හෝ මෙයට හුරු වෙන බව මා සිතාගත්තෙමි. 
               
                 "ඒයි, මොනවද කල්පනා කරන්නෙ?.... මොකද?..... දුකද උඹේ ගිහාන් කුමාරය ගැන?....
                    "අනේ මේ..... මට ඇති දුකක් නැහැ බං..... මට මේ ගමන ටිකක් හුරු වෙන්න වෙයි. මම හිතුවෙ ඒ ගැන."
                   " ටික දවසකින් මේකට උඹ හුරු වෙයි සුවී.....එතකොට තේරේවි මේ ගමන පයින් යන එක තරම් අමාරු නැහැ කියල....."
                   "හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්.......මමත් හිතුව ඒක"


                   බසයේ මුළුමනින්ම පාසල් ළමුන්ගෙන් පිරී ගොසිනි. එක් තැනක හිනා හඬ, තවත් තැනකින් සිංදුවක් හා එයට සරිලන පරිදි කෙරෙන විසිල් ගැසීමකි. මේ ගමනත් නරකම නැහැ. අමුතුම ලෝකයක් වගේ. ධර්මාශෝක සහ දේවානන්ද යන පාසල් දෙකේම පිරිමි ළමුන් ඉමහත් දඟකාරකම් කරමින් බසයම දෙවනත් කරන්නට විය. මට මෙය  ටිකක් නුහුරු අත්දැකීමකි. මන්ද යත් අප පාසල බාලිකාවක් බැවිනි. මා සිටියේ පිටුපස සීට් පේළියට පේළි දෙකක් ඉදිරියෙන් ඇති සීට් එකේ ජනේලෙ අයිනට වන්නට ඉදගෙනය. එකපාරටම මාගේ උකුලට පොත් දුසිම් දෙක තුනක් පමණ පිරෙන්නට වූයේ මට සිතා ගන්නටවත් නොහැකි අන්දමිනි. මා මල්කි දෙස බැලීමි. ඇයටත් එයම වී ඇත. එහෙත් මල්කි සිනාසෙමින් ගානක් නොමැති ලෙස හිඳී. මා එකවර හිස ඔසවා බැලුවෙමි. අපේ සීට් එක ළඟින්ම පිරිමි ළමයින් දෙතුන් දෙනෙකු කිසිදු ගානක් නොමැති අයුරින් සිනාසෙමින් ලොකු කතාවකට වැටී ඇත. මගේ කේන්තියේ සීමාව ඉක්මවා යන්නට විය. මා පොත් ටික අසුන මත තබා නැඟිට්ටෙමි. මල්කි මට වාඩිවන ලෙස ඇස් වලින් සංඥා කරන්නට විය. මා එය ගණනකට නොගෙන සිටගත්තෙ අප අසල සිටි පරිමි ළමුන් දෙසට මාගේ කෝපය පළ කරමිනි.
   
                  "ආ... ඇයි නංගි..? මුකුත් ප්‍රශ්ණයක්ද?"


එතන සිටි කටකාර සිසුවෙක් මගෙන් විමසුවේ මට නෝන්ඩියට හිනා වෙමිනි. එයින් මගේ ඉවසීම මා අතැර යන්නට විමි.
                  
                     "ඔව්, ඇයි ඔයා ප්‍රශ්ණෙ විසඳන්නද? 
                 "ඒයි,.... මේ බලාපල්ලා අපේ බස් එකට අද ඇවිල්ලා අපිටම මෙයා පාට් දාන හැටි. මේ නංගී......... ඕව තියාගන්න එපා හරිද? අපි හොඳට හොඳයි.. නරක් වුනොත් ඉතින් අපි තරම් නරක අය තව නැති වෙයි හොඳේ.... 
             
                දබරැඟිල්ල මා වෙත දිගු කරමින් තවත් සිසුවෙක් පැවසීය. මා ඇත්තටම එයින් බිය වුණි. මගේ ඇස් කඳුළින් පිරෙන්නට ගත වූයේ නිමේෂයකි. 
  
                   "හා...හා.... පැත්තකට වෙයල්ලා... මොකක්ද බං උඹල මේ කරන්නෙ? ඒ ළමයට එයාගෙ පාඩුවෙ යන්න දීපං"
                   
                      මඳක් එහායින් සිටි සිසුවෙක් අප සිටින තැනට පැමිණෙමින් පැවසීය. මා ඔහු කවුරුන්දැයි බලන්නටවත් හිස එසවූයේ නැත. මල්කිද පොත් ටික පසෙකින් තබා නැඟිට මා අසලින් හිටගත්තාය. 
              
                       "  සුවී.... මේ... දැන් ඔය කඳුළු පිහිදගනින්...... බස් එක යන්න හදන්නෙ..... අපි විනාඩි 15න් ගෙදර. උඹ ඔහොම ගෙදර ගියොත් ඉතින් උඹට ආයෙත්නම් බස් එකේ යන්න ලැබෙනව බොරු."


                      ඇය කියූ දෙයින් මා පියවි තත්වයට ආවෙමි. අපෝ.. ඒකනම් වෙන්න දෙන්න බැහැ යටි සිතට මිමිණූ මා ඇය දෙස බැලීමි. ඇය සිනාසෙමින් මුව වසාගත්තාය. 
                           
                                                      "  ඇයි?  "


                මා ඇයගෙන් විමසූ විට ඇය ඇස් කොනින් මට අප අසලට ආ මාගේ ගැලවුම්කරුවා පෙන්වන්නට විය. මා තරමක් හිස හරවා බැලූ නොබැලූ තරමට ඔහු දෙස බැලීමි. ඔහු සිනා සී මදෙස බලාගත්වනම සිට ඇත. මා ඉමහත් ලැජ්ජාවකට පත් වුණෙමි. ඒ මා ඔහු දෙස බලනව ඔහු දුටු හෙයිනි. මල්කිත් කරන්නෙ කරොත් ඔහොම වැඩක් තමයි. බසය ගමනාරම්භය කරන්නට විය. 
  
                                         "බය වුණා නේද ඔයා ? 
                   
                       ඔහු සිනහවක් සමඟින් ඇසුවේය. මා හිස සලා පමණක් ඔව් යැයි පැවසුවෙමි.
                  
                          "මොකද? මාත් එක්ක කතා කරන්නත් බයද? බය වෙන්න එපා. උන් එහෙම කතා කරාට නරක  නැහැ. ඔයාට විතරක් නෙමේ මේ බස් එකට අළුතින් එන ඕනම කෙනෙකුට ඔය රැග් එක උන් දෙනව. වැඩේ උනේ ඔයා ටිකක් මුරණ්ඩු වුන නිසා තමයි උන් ඔයාට එහෙම කතා කරේ. ගණන් ගන්න එපා ඒක එච්චර"
    
                   මා බිම බලගත්වනම ඔහුගේ කියවීමට සවන් දුන්නෙමි. මෙයානම් කියයි මම බයවුන හැටි දන්නෙ මමනෙ. 
   
                  "කෝ?...මම විතරනෙ කතා කරන්නෙ. කෝ අර පණ්ඩිත කට?
                                
                                 ඔහු විමසූ අයුරට මට සිනා පහළ විය. 
  
                         "අපෝ ...ඇති යන්තම් හිනාවත් වුනා. මේ ඔයාගෙ යාළුවට මොකද වුනේ  ඔහු මල්කිගෙන් ඇසුවේය. 
                   "එයා ටිකක් බය වෙලා ...ඒකයි.. නැත්නම් ඔයාට කනක් ඇහිල ඉන්න වෙන්නෙ නැහැ මෙය කියවන්න පටන් ගත්තනම්.


                          මල්කිටත් කට පියාගෙන ඉන්න බැරි හැටි. හරියට දන්න කෙනෙක් එක්ක වගේ කතා කරන්නෙ. මා වැලමිටෙන් ඇයට හිමින් ඇන්නෙමි. 
    
                             "ඌයි..."ඇයගෙ සද්දෙට මා මෙන්ම ඔහුද තිගැස්සුණේය.
                     "මොකද? ඔයාව මොකෙක් හරි කෑවද? ඔහු මල්කිගෙන් විමසුවේය.
                    "සතෙක් කෑවනම් කමක් නැහැ. මේ වැලිමිටි පාරවල් තමයි ඉවසන්න බැරි"
                 
මල්කි කී දෙයට ඔහු මහ හඬින් සිනාසෙන්නට විය. ළමුන් කීපදෙනෙක් අප දෙස බලනවා මා දුටුවෙමි.
                                        
                                                  "මල්කී....."


                මා මල්කි දෙස බලා අමනාපය මුසු හඬින් ඇය ඇමතීමි. ඇයටනම් කට පියාගෙන සිටින්නට බැරි හැටියක්.
                  
                          "මෙයාගෙ නම මල්කිද? මෙච්චර වෙලා කතා කරාට නම ගම දැනගන්න බැරි වුනානෙ ඇත්තටම. මම මනූෂ.....මනූෂ ප්‍රභාත් වික්‍රමසිංහ...ඔයාගෙ නම ......


                      ඔහු මදෙසට හැරෙමින් විමසුවේය. මා නම කියන්නට ප්‍රථමයෙන් මල්කි හඬ අවදි කළාය.

                     "මෙයාගෙ නම සුවිනි නෙත්මිණි රණසිංහ.... අපිනම් කියන්නෙ සුවී කියල... ඔබ.. කැමති විදිහෙ නමකින් ආමන්ත්‍රණය කරාට අපේ කිසිම අමනාපයක් නැත.

                        මල්කිටනම් ඇත්තටම පිස්සුද මන්දා. ඔහේ කියවනව. බස් එකෙන් බැහැපුදෙන්කො මම එයාව අල්ලගන්න.


                          "ෂා... සුවිනි නෙත්මිණි.....ලස්සන නමක්නෙ ඔයාට තියෙන්නෙ. මම ඔයාට නෙත්මි කියල කතා කරාට කමක් නැද්ද? "
                          "කමක් නැහැ"
                       "ඔයා අකමැතිනම් මමත් සුවී කියලම කතා කරන්නම්. ඒත්.... නෙත්මිණි කියන නම තමයි ඔයාට ගැලපෙන්නෙ. ඒකට හේතුව මම අනිත් දවසෙ කියන්නම්.
  
                           ඒ කියන්නෙ අනිත් දවසෙත් මෙයා කතාවට එන්නයි හදන්නෙ. බලමුකො අනිත් දවසෙ එයා කතා කරන හැටි. මා කිසිත් නොකියා යන්තම් සිනාසුණෙමි.


                     "මේ...මනූෂ..ඔන්න අපි ඊළඟ නැවතුම ආවම බැහැල යනව ගෙදර බලා.....බෙල් එක ගහනවද බස් එකෙ පිං සලකා.......නොහැකි වුණත් අහිතක් නැහැ අපි යනවා...."


                              මල්කි  ගීතයක තාලෙට පැවසමින් මනූෂට බෙල් එක පෙන්නුවාය. 


                   "අපෝ ඕක සුළු දෙයක්නෙ... මනුෂත් බල බලා උන්නෙ... හෙල්ප් එකක් දෙන්නෙ ඔයාලට කොයි වෙලේද කියලා......"


                                                 මෙතෙක් වෙලා නිහඬව සිටි මනූෂගෙ යාළුවෙක් ද ගීතයක තාලෙට පැවසුවේය.
   මනූෂ සිනාසී බසයේ සීනුව නාද කළේය. 


                                          "අපි යනව මනූෂ..ආයෙත් හම්බවෙමු.."


                 මල්කි මනූෂට හා ඔහුගේ මිතුරාට අත වනා පැවසුවාය. මා සිටියෙ ජනේලෙ අයිනට වන්නට හෙයින් මා පැමිණියෙ මල්කිට පසුවෙනි. එක්වරම මනූෂ ඉදිරිපස තිබූ අසුනෙ ආධාරකය මත අත තබා මට එළියට ඒමට නොහැකි ලෙස මා හරස් කළේය. මට ඉබේටම ඔහු දෙස බැලුනි. ඔහු සිනා සී "හෙටත් එන්න" යයි පවසා මට යන්නට ඉඩ දුන්නේය. මා කිසිවක් නොකියා බසයෙන් බැස ගතිමි. ඔහු අත වනනවා මා දුටුවෙමි. මල්කිද පෙරළා ඔහුට අත වැනුවාය.  
  


                                                                             මතු සම්බන්ධයි

No comments:

Post a Comment